• Breaking News

    කෝප් කමිටුවෙන් අත්හිටුවූ ක්‍රිකට් ඒඩ් උපාලිට තාම පින් පඩි - ඇමති නොදකින හොර ගුහාව


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකළ මහා පරිමාණ දූෂණ අක්‍රමිකතා රැසක් පසුගිය කෝප් කමිටුවේදී අනාවරණය වුණා. ඒ රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදුකළ විශේෂ විගණනයකින් පසුවයි. බලු වලිගේ උණ පුරුකේ දාලවත් ඇද අරින්න බෑ කියන්නාක් මෙන් ක්‍රිකට් ආයතන අනාවරණය වූ දූෂණ අක්‍රමිකතා එලෙසම තවමත් සිදුවනවා. එමෙන්ම එහිදී අනාවරණය වූ තොරතුරු වෙනුවෙන්ද ක්‍රීඩා අමාත්‍යාංශය මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම පුදුමයට කරුණක් වී තිබෙනවා. එලෙස දූෂණ අක්‍රමිකතා සදහා ආන්ඩුවේ ආශිර්වාදයද හිමිවීම නිසා පාර්ලිමේන්තු කෝප් කමිටුව අත් හිටුවීමට නියම කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් ඒඩ් සමාගම තවමත් ක්‍රියාත්මක වනවා. ඒ කිසිදු නිල කටයුත්තක් සිදු නොවුනත් එහි කළමනාකරු උපාලි සෙනවිරත්නට මාසිකව රුපියල් ලක්ෂ එකහමාරක වැටුපක් ගෙවීමටයි. ඒ පිලිබද කතාව මෙතැන් සිට දිග හැරෙනවා.


    සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ඒඩ් සමාගමේ කළමනාකරු ලෙස වයස  අවුරුදු 70 ඉක්මවූ උපාලි සෙනවිරත්න එදා මෙදා තුර ක්‍රියා කරනවා. මොරටුව කැටමරාන්ස් ක්‍රීඩා සමාජයේ ඡන්ද සෑම විටම හිටපු සභාපති තිලංග සුමතිපාල වෙනුවෙන් භාවිතා කිරීම හා ක්‍රිකට් නිලවරණ ප්‍රචාරනයේදී ඔවුන්ට සහය වීම වෙනුවෙන් මෙලෙස මාසිකව රුපියල් ලක්ෂ එකහමාරක වැටුපකට ඔහු හිමිකම් කියනවා. විගණන දෙපාර්තමේන්තුව සිදුකළ විශේෂ විගණනයේදී අනාවරණය වුණේ උපාලිව නිල වශයෙන් සේවයට බදවාගැනීමට පෙර සිටම මෙම තනතුරට අදාල වැටුප් ගෙවා ඇති බවයි. එමෙන්ම එලෙස සේවයට වාර්තා කිරීමට පෙර සිට වැටුප් ගෙවීම සදහා ක්‍රිකට් විධායක කමිටු අනුමැතිය හිමිව ඇති බව ප්‍රකාශ කළත් ඊට කිසිදු සාක්ෂියක් ඇත්තේද නැති බව මෙම විශේෂ විගණන වාර්තාව ඉදිරිපත් කළ කෝප් කමිටුවේදී අනාවරණය වුණා. මෙය වකුගඩු රෝගීන් සදහා උපකාර කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුණ්‍යායතනයන් ලෙස ආරම්භ කළත් එවන් කිසිදු කටයුත්තක් මෙතෙක් සිදුකර නැහැ. 2019 මාර්තු 23 වැනිදා කෝප් කමිටුවට පෙර අප මෙහි සිදුවන දූෂණ මෙලෙස වාර්තා කළා.


    උපාලිට පින් පඩි ගෙවන ක්‍රිකට් ඒඩ්


    ක්‍රිකට් ඒඩ් සමාගම 2016 වසරේ එංගලන්තයේ පැවති ක්‍රිකට් තරගාවලියේදී අරමුදල් රැස් කිරීමට විශේෂ ව්‍යාපෘතියක් සිදුකරනු ලැබුවා. කෝප් කමිටුවට ඉදිරිපත් කළ විශේෂ විගණන වාර්තාවේ එහිදී සිදුව ඇති දූෂණ අක්‍රමිකතා කිහිපයක් ගැන තොරතුරු ඇතුලත් වනවා. විගණනයට පවා කොළේ වැසීමට සමත් වූ එහි තවත් අක්‍රමිකතා රැසක් Lankasportsnews අපට වෙත වාර්තා වුණා. මෙම අරමුදල් රැස් කිරීම වෙනුවෙන් යැයි කියා සංවිධාන කළ විනෝද චාරිකාවට පවුම් 45,750 ක් හෙවත් රුපියල් 10,820,050.51 මුදලක් ඇස්තමේන්තු කර තිබුණා. රුපියල් මිලියන 18 ක විකුණුම් හා වෙන්දේසි වෙනුවෙන් ද භාණ්ඩ සූදානම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා. ශ්‍රී ලංකාවේ සිට එංගලන්තයට විනෝද චාරිකාව වෙනුවෙන් ගුවන් ප්‍රවේශ පත්‍ර සදහා තවත් රුපියල් මිලියන 10 ක් වැය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේ වත්මන් උප සභාපති රවීන් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පිරිස පිටත් කිරීමටයි. එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති මෙම මුදල් රැස් කිරීම ලෙස බෝඩ් එකක් අලවා මුදල් කාබාසිනියා කළ ප්‍රවර්ධන වැඩසටහනේ ප්‍රවේශ පත්‍රයක් පවුම් 200 ක් ලෙස මිල කර තිබුණා. ලෝඩ්ස් ක්‍රීඩා පිටියේ ලෝන් රූම් ශාලාවේ පැවති ඊට ප්‍රවේශ පත්‍ර මිලදීගෙන එක්ව සිටියේ 50 කටත් අඩු පිරිසක්. ක්‍රිකට් පාවාදීම් ගැන ක්‍රීඩා අමාත්‍යාංශයේ වාර්තාවක දැක්වෙන රවීන් වික්‍රමරත්න හෝටලයක සිටි බව කියා මිතුරෙක්ගේ නිවසක නවාතැන් ගනිමින් එහිදී විශාල මුදලක් මාටියා ගැසීමට සමත් වුණා. මෙම පාඩු ලැබූ ප්‍රවර්ධනයට කල් තියා සූදානම් වීමට කියා සියලු පහසුකම් සහිතව රවීන් වික්‍රමරත්න සති දෙකකට පෙර එංගලන්තයට ගොස් සැප ගත් බව අමතක නොකළ යුතුයි. මේ අතර එංගලන්ත ඩිනර් පාටිය වෙනුවෙන් නීති විරෝධී ලෙස වෙනම විදෙස් ගිණුමක් ඇරීමත් විගණනය මගින් ප්‍රශ්ණ කොට තිබෙනවා. ක්‍රිකට් ආයතනය මෙසේ හොර ගිණුම් ඇරීමට කප් ගැසූ ස්ථානයක්.


    ක්‍රිකට් ආයතනයේ දැන් ඉන්න පාවාදීමේ ලොක්කා මෙන්න - සාක්ෂි - Exclusive Exposed


    2018 වසරේදී සිංගප්පූරුවේ බෞද්ධ මධ්‍යස්ථානයකින් සහල් ටොන් 11.4 ක් හා නූල්ඩ්ස් කිලෝ 12,600 ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ඒඩ් පුන්‍යායතනය වෙනුවෙන් ලබා දී තිබුණා. එම තොගයේ බදු නිදහස් කරන ලෙස ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් රේගු අධ්‍යක්ෂවරයාට දැනුම් දී තිබුණා. එහෙත් බදු නිදහස ලබා ගැනීමට කටයුතු නොකළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ වෙනුවෙන් රේගුවට රේගු ගාස්තු ලෙස රුපියල් 1,285,885.00 ක් ගෙවීමට කටයුතු කර තිබෙනවා. මේ අනුව එක් කිලෝවක් සදහා බදු වෙනුවෙන් පමණක් රුපියල් 102 ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙවා ඇතැයි සදහන්. එලෙස ගෙවා බලන විට ආහාර නරක් වී පරිබෝජනයට නුසුදුසු වීම හේතුවෙන් රේගුවෙන් නිදහස් කර නැහැ. මෙමගින් පමණක් මෙම ක්‍රිකට් ඒඩ් පුන්‍යායතනයේ කටයුතු පිලිබද ඔබට සිතා ගත හැකි වනු ඇතැයි සිතනවා. 




    මෙලෙස මුදල් කාබාසිනියා කිරීමට අටවා ගත් ක්‍රිකට් ඒඩ් සමාගමේ 2016 වසරේ අදායම ලෙස රුපියල් 4,701,095.00 ක් ලබා ගනිද්දී වියදම් කර ඇති මුදල රුපියල් 14,832,506.00 ක් ලෙස සටහන් වනවා. මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම වසරේදී පමණක් රුපියල් ලක්ෂ 100 කට අධික පාඩුවක් ලබා තිබෙනවා. මේ අනුව අනාගතයේ මෙම සමාගම ප්‍රශ්නයක් විය හැකි බව හදුනාගත් හිටපු සභාපති තිලංග සුමතිපාල 2017 වසරේදී අපූරු ගැටයක් ගසා තිබෙනවා. ඒ ඩයලොග් ආයතනයෙන් හිමිවූ මුදල් ක්‍රිකට් ඒඩ් ගිණුමට බැර කරමිනුයි. මේ අනුව 2017 වසරේ ක්‍රිකට් ඒඩ් සමාගමේ වියදම රුපියල් 4,411,526.00 ක් ලෙස සටහන් වෙද්දී ආදායම රුපියල් 17,184,134.00 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා. එහි සිදුව ඇති ප්‍රෝඩාව අනාගතයේ ක්‍රිකට් ඒඩ් ආයතනය ගැන පමණක් සිදු කරන විශේෂ විගණන වාර්තාව මගින් ඔබට දැකගත හැකිවනු ඇති. ඒ පසුගිය කෝප් කමිටුවේදී විගණකාධිපතිවරයා මාස දෙකකින් දෙන බව කී විශේෂ විගණනය සිදුවුවහොත් පමණක් බව මතක තබා ගන්න. එමෙන්ම 2018 වසරේදී ක්‍රිකට් ඒඩ් ආයතනය රුපියල් 4,453,983.00 ක් වියදම් කර ආධායම් ලෙස රුපියල් 5,000,000 ක් හිමිකරගෙන තිබෙනවා. වකුගඩු රෝගීන් වෙනුවෙන් කියා ආරම්භ කළ මෙම ක්‍රිකට් ඒඩ් සමාගම සැබවින්ම පුන්‍යායතනයක් වී ඇත්තේ එහි කළමනාකරු උපාලි සෙනවිරත්නට බවත් මෙම විශේෂ විගණනයේ සදහන්. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මෙම සමාගමෙන් පුන්‍ය කටයුතු රුපියල් 2,478,260.00 ක් වැය කරන විට එහි කළමනාකරුට පඩි ගෙවීමට රුපියල් 3,998,693.00 වැය කර ඇති බව දක්වමිනුයි.



    ක්‍රිකට් නිලවරණයේ කැටමරාන්ස් ක්‍රීඩා සමාජයේ ඡන්ද වෙනුවෙන් ක්‍රියාත්මක වන ක්‍රිකට් ඒඩ් සමාගම සුදු අලියෙක් බව ඔබට පැහැදිලි ඇති. මේ අනුව විශේෂ විගණන වාර්තාවේ නිර්දේශ කර ඇත්තේ ක්‍රිකට් ඒඩ් ගැරන්ටි ලිමිටඩ් සමාගමේ සියලු ඉපයීම් හා වියදම් පරීක්ෂා කළ යුතු බවයි. කෝප් කමිටුවේදී එය සනාථ කරමින් මාස දෙකකින් වාර්තාව ලබාදිය හැකි බව විගණකාධිපති පැවසූ බවත් සටහන් කළ යුතුයි. එමෙන්ම 2019 ඔක්තෝබර් මස නිකුත්කළ විශේෂ විගණන වාර්තාවේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න නිගමනය කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් පුන්‍යායතන හස්තයක් ලෙස පිහිටුවා ඇතත් ක්‍රිකට් ඒඩ් සමාගමෙන් මෙතෙක් අරමුණු ඉටුවී නැති බවයි. එමෙන්ම පුන්‍යායතනයක් ලෙස වෙනම සමාගමක් අවශ්‍ය නැති බවත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටම සිදුකළ හැකි බවත් එහි දැක්වෙනවා. මේ අනුව කෝප් කමිටුවද එහි කටයුතු නතර කරන ලෙස නියෝග කළා. එහෙත් සියල්ලන්ගේ ඇසට වැලි ගසමින් අදටත් මෙම සමාගම අටවා ගත් අරමුණ එලෙසම ඉටු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරනවා. ඒ එහි උපාලි සෙනවිරත්නට මාසිකව රුපියල් ලක්ෂ එකහමාරක වැටුපක් ගෙවමින්.





    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙලෙස වසා දැමූ ආයතනයක් වෙනුවෙන් එහි කළමනාකරු ලෙස කටයුතු කළ මෙම වයෝවෘද්ධ උපාලි සෙනවිරත්නට පඩි ගෙවීම වෙනුවෙන්  70 පැන්නත් සෑම දිනකම ක්‍රිකට් ආයතනයට එනවා දකින්න ලැබෙනවා. එලෙස පැමිණ ඔහු ක්‍රිකට් ආයතන ෆ්‍රී වයි ෆයි අන්තර්ජාල පහසුකම් ලබා ගනිමින් පෞද්ගලික රක්ෂණ ආයතනයක් වෙනුවෙන් ඉතා උනන්දුවෙන් සේවය කරනවා. එම රක්ෂණ ආයතනයේ විකිණුම් සේවකයෙක් ලෙස කොමිස් මුදල සාක්කුව දා ගන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙවන පින් පසියත් ලබා ගනිමිනුයි. 2019 වසරේ සැප්තැම්බර් 03 වැනිදා පැවති කෝප් කමිටුවේදී ක්‍රිකට් ඒඩ් ආයතනය පිලිබද මතුවූ දූෂණ අක්‍රමිකතා සියල්ල පහතින් බලන්න.




     

    මේ පිලිබද Lankasportsnews අප පසුගිය පෙබරවාරි 08 වැනිදාත් මෙලෙස වාර්තා කළා. එහෙත් එය බීරි අලින්ට වීනා වැයීමක් වුණා.


    ක්‍රිකට් හොර ගුහාව පාර්ලිමේන්තුවට පයින්ගසා උපාලිට පිංපඩි දීලා


    අස්සයා පැන ගිය පසු ඉස්තාලේ වසා වැඩක් නෑ කියයි. අස්සයෙක් පැන ගිය බව සැලවී ඉස්තාලේ වහන්න කිව්වත් ඇතුලේ ඉන්න අනිත් උන්ට පැනල යන්න බැරිවෙන්න එය සිදු නොකිරීම කගේ හයියට වන්නක්දැයි විමසා බැලිය යුතුයි. ඇතා ගිලපු දිවුලක් වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාලනයට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ තවමත් පැකිලෙන්නේ ඇයිදැයි ගැටළුවක් පවතිනවා. තත්වය මෙලෙස පවතිනවා නම් ඔහුටත් මේ හොරකම් කළ සල්ලි මිටි යන්න ඇතැයි ජනතාව සිතන්න වැඩි කලක් නොයන බව සිහිපත් කළ යුතුයි. ඒත් සමගින් රටේ අනාගතය භාර ගැනීමට චරිතයක් වීමට ක්‍රීඩා අමාත්‍යාංශය භාරගත්තත් තියෙන නමත් කැත කරගෙන යන්න වෙන්නේ ක්‍රිකට් ආයතනයෙන් මූණේ දැලි ගාගෙනදැයි ප්‍රශ්නයක් මතුවනවා. එසේ නොවීමට නම් ක්‍රිකට් ආයතනයේ අඩුම තරමේ මේ අක්‍රමිකතාව හෝ නතර කර රට හමුවේ සිය අනාගතය තහවුරු කරන ලෙස අප ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා. ඒත් සියලුම ක්‍රිඩා ඇමතිවරු කලේ හොරාගෙ අම්මාගෙන් පේන ඇසීමක් පමණයි. අවසන් වශයෙන් ලියන්න ඇත්තේ හිතවත්කම් හා සල්ලි බලයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තව කොපමණ කාලයක් ක්‍රීඩා ඇමතිවරු නටවනු ඇත්දැයි බලා සිටින්නට අපට සිදුවන බවයි. එමෙන්ම ක්‍රිකට් ආයතනයේ පින් පඩි ලබමින් කෝටි ගණන් එහි කොමිස් මුදල්ද ගසා කන මෙවන් අපතයන් රැසක් පිළිබද ඉදිරියේදී අප හෙළිදරව් කරන්න සූදානම්. එවන් තවත් අප්තයකු වූ සම්පත් හෙට්ටිආරච්චි පිලිබදවත් පසුගියදා අප හෙළිදරව් කළා ඔබට මතක ඇති.


    ක්‍රිකට් ආයතන මිටි ගණන් සල්ලි අදින සෙන්මා කාගෙද ? - Exclusive Exposed









    No comments