• Breaking News

    අයිතිකාරයෙක් නැති ගාල්ල ක්‍රිකට් ක්‍රීඩා පිටියේ අර්බුදය - Exclusive Exposed


    සුද්දට බනින කළු සුද්දන් අදටත් සැප විදින්නේ සුද්ද යනකොට ලංකාවේ ඉතිරිකර ගිය යටිතල පහසුකම් නිසා බව ඔවුන් හිතා මතාම අමතක කර තිබෙනවා. ඒ කළින් කලට බලයට පැමිණීමට හා බලය රැක ගැනීමට දේශපාලනඥයින් ජාත්‍යාලය සරුවට විකිණීම හේතුවෙන්. ලංකාවට නිදහස ලබාදුන් පසු දුම්රිය මාර්ග ඉදි නොවීමට හේතුවත් දේශපාලනඥයින්ට මහා මාර්ග තැනීම ඉතා ලාභදායි වීම බව මොහොතක් සිතුවොත් ඔබට වැටහේවි. සුද්ද එලෙස යටිතල පහසුකම් ඉතිරිකර යන විට ලංකාවේ ඉතිරි වූ ප්‍රධාන ක්‍රීඩාව වූයේ ක්‍රිකට් ක්‍රීඩාව බව අමුතුවෙන් කිව යුතු නෑ. ගාලු කොටු පවුර සමීපයේ මනරම් ඉඩමක ක්‍රිකට් ක්‍රීඩා කිරීමට හා අනෙකුත් ක්‍රීඩා සදහා ගාල්ල ක්‍රීඩාංගණය ඉදිකරනු ලැබුවේද සුද්ද විසින් බව මේ වන විට බොහෝ දෙනෙකුට අමතකව ගොස් තිබෙනවා. එම ගාල්ල ක්‍රීඩා පිටියේ අයිතිය වෙනුවෙන් මේ දිනවල කඹ ඇදීමේ තරගයක් ක්‍රියාත්මක වනවා. ඉන් තැලෙමින් ඇති ගාල්ල ක්‍රීඩකයින් ගැන හා ගාල්ල ක්‍රීඩා පිටියේ අයිතිකාරයෙක් නැතිවීමේ කතා පුවත මෙතැන් සිට දිග හැරෙනවා.


    1876 වසරේදී විවෘත වූ ගාල්ල ක්‍රීඩා පිටිය කේන්ද්‍ර කර ගනිමින් බිහිවූ ගාල්ල ක්‍රීඩා සමාජයේ දෙවන අරමුණ ලෙස පැහැදිලිවම දැක්වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව මූලික කරගත් අනෙක් ක්‍රීඩා වැඩිදියුණු කිරීම, ධෛර්ය දීම හා  පහසුකම් සැපයීමයි. කෙසේ වෙතත් පසුගිය කාලයේ ගාල්ල ක්‍රීඩා පිටිය ජාත්‍යන්තර ක්‍රිකට් තරග සදහා සීම වුණා. ඒ ගාල්ල නගරාධිපති ප්‍රේමසිරි එවක ක්‍රිකට් ආයතන සභාපති තිලංග සුමතිපාල හා අත්සන් කර තිබූ 10 වසරක බදු ගිවිසුම හේතුවෙනුයි. එමගින් ගාල්ල ක්‍රීඩා පිටිය පාලනය සම්පූර්ණයෙන් ක්‍රිකට් ආයතනයට ලබාදී තිබුණා. මේ අනුව ගාල්ල ක්‍රීඩා පිටියේ ඉදිකිරීම් හා ආධායම් සියල්ල පාලනය ඔවුන් සිදුකළා. ඒ වෙනුවෙන් ක්‍රීඩාපිටි භාරකරුවෙක් යෙදවීම ද සිදුවුණා. මේ අනුව පසුගිය වසර 10 දීම ගාල්ල ක්‍රීඩා පිටියේ දොර ඇරුනේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග සදහායි. ක්‍රීඩා පිටියේ ඇති පැති විකට්ටු පවා ඒ වෙනුවෙන්ම වෙන් වුණා. මෙම ගාල්ල ක්‍රීඩා පිටියේ බදු ගිවිසුම පසුගියදා අවසන් වුණා.


    මේ අනුව ගිවිසුම අලුත් කිරීම පැවරුනේ කුප්‍රකට සුජීව ගොඩලියැද්දටයි. ඔහු ඒ වෙනුවෙන් සිංහයෙක් ලෙස ගොස් බලුවී පැමිණි බවයි ක්‍රිකට් ආයතන අප හිතවත් මාධ්‍ය අංශ නිලධාරියා Lankasportsnews අප කළ විමසීමකදී කියා සිටියේ. ඊට හේතුව ලෙස ඔහු කියා සිටියේ ගිවිසුම් ගතව සිටියත් ක්‍රීඩාපිටියේ හිමිකාරීත්වය පිලිබද තොරතුරු සැපයීමට නගරසභාව අසමත්ව ඇති බවයි. එමෙන්ම මෙම ක්‍රීඩා පිටිය තමන්ට අයිති බව දිසාපති පවසන්නේ ක්‍රීඩා පිටිය දිසා ලේකම් කාර්යාලයට අයිති බව පවසමිනුයි. මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගිරේට අසුවූ පුවක් ගෙඩියක් මෙන් වී තිබෙනවා. ඒ ක්‍රීඩා පිටියේ අයිතිය තහවුරු කර ගැනීමට නොහැකිවයි. මීට මැදිහත් වන ලෙස රෙද්දක් ඇදන් ගාල්ල ක්‍රීඩා සමාජයට කීමට නොහැකිව ක්‍රිකට් බලධාරීන් ලතවෙන බවත් මාධ්‍ය අංශ අප හිතවතා වැඩිදුරටත් කියා සිටියා. ඒ පසුගිය කාලයේ අනවශ්‍ය අත පෙවීම් සිදුකර ගාල්ල ක්‍රීඩා සමාජය මේ වන විට ක්‍රිකට් ආයතනය සමගින් උරනවී සිටීම නිසාවෙනුයි.


    ක්‍රිකට් සාමාජිකයින් හොර සාමාජිකයන්ට එරෙහිව ගේම ඉල්ලයි - අලුත්ම කැරැල්ල මෙන්න


    මෙලෙස ගාල්ල ක්‍රීඩාපිටියට අයිතිකාරයෙක් නැතුව සියල්ලන් විරිත්තමින් සිටිද්දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් කබලෙන් ලිපට වැටී තිබෙනවා. ගාල්ල ක්‍රීඩා පිටිය ජාත්‍යන්තර ක්‍රිකට් තරග සදහා සීමා වෙද්දී මලල ක්‍රීඩා, පාපන්දු, දැල්පන්දු හා රග්බි ක්‍රීඩකයින් වෙනුවෙන් වෙන් කරන බව පවසමින් ඉදිවූ ගාල්ල ක්‍රීඩා සංකීර්ණය පසුගියදා වොලිබෝල් සදහා පවරා දුන්නා. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ගාල්ල ක්‍රීඩා සංකීර්ණය එලෙස පිරිනැමුවේ නියෝජ්‍ය කතානායක හා ජාතික වොලිබෝල් සංගමයේ සභාපති රංජිත් සියඹලාපිටිය වෙතයි. මේ අනුව ගාල්ලේ ක්‍රිකට් හා වොලිබෝල් පමණක් ක්‍රීඩා සදහා පාසල් ක්‍රීඩකයින් ඉදිරියේදී තෝරාගත යුතු තත්වයක් මතුව තිබෙනවා. ඒ ගාල්ල ක්‍රීඩා පිටිය ක්‍රිකට් සදහා වෙන් වෙද්දී සෙසු ක්‍රීඩා වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙතෙක් දිනක් සුවහසක් බලාපොරොත්තු සමගින් සිටි ගාල්ල ක්‍රීඩා සංකීර්ණය වොලිබෝල් සදහා වෙන් කිරීම නිසයි. ගහෙන් වැටුනු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ගොනා ඇන්න වොලිබෝල් සදහා නිල වශයෙන් ගාල්ල ක්‍රීඩා සංකීර්ණය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ එස් නාලක වෙත ලබාදුන් රූපයයි පහත දැක්වෙන්නේ.



    තීන්දු තීරණ ලබාගැනීමේදී ඕනෑම කෙනෙක් ඉතා පරිස්සම් විය යුතුයි. මීට පෙර ගාල්ල ක්‍රීඩා පිටියේ ඉදිකළ ඉදිකිරීමක් නිසාවෙන් දර්ශනයට හානි වන බව පවසමින්  ගාලු කොටුව ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවධානමට ලක්වුණා. එම අවස්තාවේ කඩිනමින් එම ප්‍රේක්ෂකාගාරය මහින්ද රාජපක්ෂ ලෙස නම් කළා. මේ අනුව එය ඉවත් කිරීමට කීම දේශපාලන පලිගැනීමට කරන බව පවසා මහජන කැලඹීමක් සිදුකර නොකඩා බේරා ගැනීමට ක්‍රිකට් ආයතනය සමත් වුණා. එහෙත් ඔවුන් එලෙසම ක්‍රීඩා පිටියේ ඉදිකළ ගෘහස්ථ ක්‍රීඩා පිටියේ වහලය අධික සුලගින් ගසාගෙන ගියා. අදටත් එම ගොසනැගිල්ල වහලයක් නැතුව එලෙසම තිබෙනවා. ඒ ගාලු කොටුව ලෝක උරුමක් ලෙස තවදුරටත් පවත්වා ගැනීමට නම් කිසිදු ඉදිකිරීමක් නොකරන ලෙස ලබා දී ඇති නියෝගය හේතුවෙනුයි. එම නියෝගය කරනු ලැබුවේ පෙර කී මහින්ද රාජපක්ෂ ප්‍රේක්ෂකාගාරය පිලිබද මතුවූ ගැටළුවේදීයී. ඒ වන විට මෙම ගෘහස්ථ ක්‍රීඩා පිටියද තහනම් ගොඩටම එක්ව තිබූ කාලයේදී සුලග එහි වහලය ඉවත් කළ බව ලියා තැබිය යුතුයි. මේ හැලහැප්පීම් අතර අදටත් ගාල්ල ප්‍රදේශයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉච්ඡාභංගත්වයෙන් සිටින බව අවසන් වශයෙන් ලියා තබනවා. ඒ වැටත් නියරත් ක්‍රීඩා පහසුකම් කා ඇති වෙලාවක කාට කියන්නද මේ අවනඩුව යැයි කියමිනුයි.


    පෙර සබැඳි ලිපිය

    එංගලන්ත ක්‍රිකට් සංචාරයේ මහා ප්‍රවේශ පත්‍ර වංචාවක් - ශම්මිගේ මඩිය තරවේ

     

    No comments