• Breaking News

    ක්‍රිකට් ආයතන මිටි ගණන් සල්ලි අදින සෙන්මා කාගෙද ? - Exclusive Exposed


    කොලේ වහල ගහන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උපන් හපන් කම් දක්වනවා. ඒ අතර ඇදුම කපල මහල ඇන්දීමට ක්‍රිකට් ආයතන සේවකයන් තරම් සමත් පිරිසක් ලෝකයේම නැතුව ඇති. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා එලෙස රැවැට්ටීමට ලක් කරමින් සල්ලි ගරන පිරිසක් එම ආයතනය තුලම බිහිවී සිටිනවා. සභාපති ශම්මිගේ කනෙන් කුඩක් ඉහලන් රිංගන ඔවුන්  තවත් වංචාවකට සභාපතිවරයා පැටලීමට මාන බලමින් සිටිනවා. එම  උණපූර්ණය සමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවන මහා මූල්‍ය වංචාවක් සෙන්මා ටෙක්නොලොජිස් ( Senma Technologies ) නම් ආයතනයක් හරහා සිදුවීමේ කතාව මෙතැන් සිට දිග හැරෙනවා.


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බ්‍රේන් සෙන්ටර් ( Brain Center ) ලෙස වෙනම අංශයක් පවතිනවා. ඊට ප්‍රධානියෙක් හා කාර්යය මණ්ඩලයක් සිටිනවා. එය පිහිටුවීම තිලංග සුමතිපාල සභාපති ලෙස කටයුතු කළ සමයේ සිදුවුණා. මේ හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැංවීමට බොහෝ දේ සිදුකළ හැකියි. එහෙත් මේ වන විට එය ක්‍රියාත්මක වන්නේ අම්බලමක් ලෙසයි. පසුගිය කාලයේ ප්‍රමුඛ පෙළ ක්‍රිකට් ක්‍රීඩා සමාජ දේශීය තරගාවලියේදී තරග දත්ත විශ්ලේෂණය හා පරිඝණක දත්ත විශ්ලේෂණය පෞද්ගලික මට්ටමින් සිදුකර ගත්තා. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසරේදී එය තමන්ට සිදුකර දිය හැකි බව ක්‍රීඩා සමාජ වෙත දැනුම් දුන්නා. මේ අනුව එය පැවරුනේ බ්‍රේන් සෙන්ටර් අංශය වෙතයි. ක්‍රිකට් ලොක්කන්ගේ ඇස්වලටත් වැලි ගසමින් මෙම මීය කඩමින් සිටින්නේ අත ලෙව කන්න නොවන බව දැන් ඔබට පැහැදිලි කිරීමට අප සූදානම්.


    මේ වන විට බ්‍රේන් සෙන්ටර් අංශයේ ප්‍රධානියා ලෙස ඇදගෙන සිටින්නේ සම්පත් හෙට්ටිආරච්චියි. ක්‍රීඩක දත්ත විශ්ලේෂණය ඔහු අල්ලේ නටවමින් සිටිනවා. නොනිල ප්‍රධානියා ලෙස හැසිරෙන ඔහුට ඒ බලය ලැබී ඇත්තේ ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාලගේ ඥාතියකු වීම හේතුවෙන්. කොළඹ නාලන්දා විදුහල්  ආදිශිෂ්‍යයෙක් වන සම්පත් කළක් ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩා කර තිබෙනවා. එමෙන්ම එහිදී දෙවන අධියරේ ( Level II ) පුහුණුකරුවෙක් ලෙස සහතිකයක් ලබා ගත්තා. එහෙත් මේ වන විට තුන්වන අධියරේ ( Level III ) සුදුසුකම් අවශ්‍ය බ්‍රේන් සෙන්ටර් ප්‍රධානියෙක් බදවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැන්වීම් පළකර තිබෙනවා. සම්පත් හෙට්ටිආරච්චි යටතේ මේ වන විට ඇති බ්‍රේන් සෙන්ටර් අංශය පසුගිය වසරේ දේශීය ක්‍රිකට් තරගාවලිය දත්ත විශ්ලේෂණය සිදුකර ඇත්තේ සෙන්මා ටෙක්නොලොජිස් ( Senma Technologies ) නම් ආයතනයක් හරහායි. එවන් ආයතනයක් පිලිබද කිසිදු ලිඛිත තොරතුරක් නැතත් ඔවුන් සදහා පසුගිය වසරේ අති විශාල මුදල් ගෙවීමක් අවස්තා රැසක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකර තිබෙනවා.


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසරේ සෙන්මා ටෙක්නොලොජිස් ( Senma Technologies ) නම් ආයතනයට මෙලෙස විටින් විට මුදල් ලබාදී තිබෙනවා.


    2 මාසය - රුපියල් 791,460.00

    2 මාසය - රුපියල් 287,922.00

    3 මාසය - රුපියල් 869,706.00

    3 මාසය - රුපියල් 186,238.00

    3 මාසය - රුපියල් 503,144.00

    3 මාසය - රුපියල් 213,788.00

    3 මාසය - රුපියල් 33,250.00

    3 මාසය - රුපියල් 51,775.00

    3 මාසය - රුපියල් 12,825.00

    3 මාසය - රුපියල් 1,259,273.00

    5 මාසය - රුපියල් 50,000.00

    5 මාසය - රුපියල් 166,970.00

    5 මාසය - රුපියල් 1,036,604.00

    5 මාසය - රුපියල් 1,715,088.00

    5 මාසය - රුපියල් 227,860.00

    5 මාසය - රුපියල් 333,880.00

    6 මාසය - රුපියල් 162,857.00

    7 මාසය - රුපියල් 595,177.00

    7 මාසය - රුපියල් 54,000.00

    7 මාසය - රුපියල් 27,000.00

    7 මාසය - රුපියල් 198,800.00

    7 මාසය - රුපියල් 54,000.00

    මේ අනුව බැලූ විට පසුගිය වසරේ පමණක් සෙන්මා ටෙක්නොලොජිස් ( Senma Technologies ) ආයතනය සදහා රුපියල් 8,831,617.00  මුදලක්  මෙලෙස ගෙවා තිබෙනවා. ඒ තරග  දත්ත විශ්ලේෂණය කිරීම වෙනුවෙන් බවයි ක්‍රිකට් ආයතන ගිණුම් තොරතුරුවල දැක්වෙන්නේ. ඒත් සමගින් මෙම ප්‍රෝඩාව තහවුරු වනවා. ක්‍රිකට් ආයතනය පසුගිය වසරේ තරග දත්ත විශ්ලේෂණය සදහා බ්‍රේන් සෙන්ටර් අංශයට අනියුක්ත  සේවකයින්, භාන්ඩ හා මෘදුකාංග යොදා ගනු ලැබුවා. එහෙත් මෙම වාර්තාවට අනුව ක්‍රිකට් ආයතනය පසුගිය වසරේ අවස්තා රැසක මුදල් පරිභාහිර ආයතනයක් සදහා නිදහස් කර තිබෙනවා. ඒ තරග දත්ත විශ්ලේෂණය සදහා බව කියමිනුයි. මේ අනුව Lankasportsnews අප මෙම ආයතනය අදාල කටයුත්තට යොදා ගැනීම සදහා අනුමැතිය ලබාගෙන ඇත්තේ කෙලෙස දැයි සොයා බැලුවා.


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බාහිර පාර්ශ්වයක් මගින් සම්පත් ලබාගන්නේ නම් පිලිගත් ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කළ යුතුයි. එහෙත් ඔවුන් කිසිදු එවන් පිලිගත් ටෙන්ඩර් කැදවීමකින් තොරව අත යට ගනුදෙනු ලෙස කලක් පටන් සිදුකරන ගොන්නටම මෙයත් එක්කර තිබෙනවා. මෙලෙස ගෙවීම් සිදුකරන ආයතනය ලියාපදිංචි වී ඇත්තේ කුමන ආයතනයකදැයි අනෙක් ප්‍රශ්නයයි. එම ආයතනයේ හිමිකරු හා අධ්‍යක්ෂ මණ්ඩලය කවුරුන්දැයි මතුවන අනෙක් පැනය වනවා. මේ අනුව පැහැදිලිව පෙනී යන්නේ තරග දත්ත විශ්ලේෂණය යනුවෙන් සිදුවන මෙම ගෙවීම් සදහා කිසිදු නීත්‍යානුකූලත්වයක් නැති බවයි. අඩුම තරමේ එවන් ගෙවීමක් සිදුකිරීමට ක්‍රිකට් ආයතනය සම්පූර්ණ කළ යුතු අවම නීත්‍යානුකූල කටයුතුද සිදුකර නැහැ. මෙම පරිඝණක දත්ත විශ්ලේෂණ වාර්තා ලබාගන්නේ ප්‍රමුඛ පෙළ ක්‍රිකට් ක්‍රීඩා සමාජ කිහිපයක් පමණයි. ක්‍රිකට් ආයතන ප්‍රමුඛ පෙළ තරගාවලිය පිට පිටම දෙවන වතාවටත් කොළඹ ක්‍රිකට් ක්‍රීඩා සමාජය (CCC) ජයග්‍රහණය කිරීමට හේතුව මෙම පහසුකම ලබා ගැනීම බව සම්පත් හෙට්ටිආරච්චිම පතුරමින් සිටිනවා. ඒ තවදුරටත් මෙලෙස මුදල් ගැරීමේ අරමුණ ඇතිවයි. සභාපති ශම්මි සිල්වා එමගින් දැලේ දා ගැනීම සදහා ඔහුගේ එකම බලාපොරොත්තුව වී තිබෙනවා.


    සෙන්මා ටෙක්නොලොජිස් ( Senma Technologies ) ආයතනයේ පරිඝණක දත්ත විශ්ලේෂණය සිදුකරන්නේ කවුද ? කුමන මෘදුකාංග යොදාගනිමින්ද ? ඊට සහය වන තාක්ෂණ නිලධාරීන් කවුද ? එම ආයතනය කාගෙද, කාටද සල්ලි යන්නේ කියල දැනගන්න ඔන්න ඔය ප්‍රශ්න වලට උත්තර හොයා ගත්තොත් පුලුවන් වේවි. යහපාලන රජය සමයේ මහ දවල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සුද්ද කළ ආකාරය පාර්ලිමේන්තු කෝප් කමිටුව සාක්ෂි සහිතව අනාවරණය කළා. එහෙත් බැදුම්කර මංකොල්ලය මෙන්ම ක්‍රිකට් මංකොල්ලයද අලු යට වැසී ගිය වැරදි කරුවන් කිසිවෙක් නොමැති හොරකමක් වී තිබෙනවා.


    ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ක්‍රීඩා දූෂණ අක්‍රමිකතා පෙන්වා දෙන ලෙස පසුගියදා ප්‍රසිද්ධියේ ඉල්ලීමක් සිදුකළා. පසුගිය වසරේ සිදුවූ මෙම වසරේ රජයේ විගණකාධිපති වෙත ඉදිරිපත් කර ඇති මහා මූල්‍ය වංචාවක් මෙලෙස අප අනාවරණය කරනවා. මෙම සෙන්මා ටෙක්නොලොජිස් ( Senma Technologies ) ආයතනයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙවීම් සිදුකර ඇත්තේ කුමන පදනමක් යටතේදැයි සෙවීම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට භාරයි. කටින් බතල හිටවන තවත් ඇමතිවරයෙක් වනවාද නැත්නම් ක්‍රීඩාව වෙනුවෙන් තීන්දු තීරණ ගන්නවාදැයි රටම සමගින් Lankasportsnews අප බලා සිටිනවා.  ක්‍රීඩා අමාත්‍යාංශයේ බහිරවයන් පන්නා අඩුම තරමේ මාධ්‍ය වාර්තා කරන දූෂණ අක්‍රමිකතා හෝ පිටු දැකීමට නාමල් රාජපක්ෂ කටයුතු කරයිද ? ඒ හරහා ඔහුත් තරුණයන් අතරට යමින් ක්‍රීඩා දූෂණ නැතිකළ ඇමති ලෙස චරිතයක් වේවිද ? ඊට උත්තර ඇත්තේ උඩ උන්නා දෙවියන් සතුව පමණි. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මෙම වංචාව සෙවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී මෙහි මහ මොළකරුවන් ඔබට හෙලි කිරීමට Lankasportsnews අප සූදානම් බව මෙලෙස ලියා තබනවා.

     

    No comments