Tuesday, September 8, 2020

ක්‍රිකට් ඡන්ද වෙනුවෙන් නාමික ක්‍රීඩා සමාජ සදහා ගෙවන මුදල් යන්නේ කාගේ සාක්කුවටද ? Exclusive Exposed


අලි බබා සහ හොරු හතලිහ මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිටින බව බොහෝ දෙනෙක් පවසනවා. ඔවුන් මහා පරිමාණයෙන් හොරකම් කළත් නීතිය ක්‍රියාත්මක වන්නේ නෑ. ඒ නීතිය නවා සල්ලි බලයෙන් සමූහ දූෂණයට ලක්කිරීම හේතුවෙන් බව බොහෝ දෙනෙකුගේ මතය වී තිබෙනවා. එම ක්‍රිකට් ආයතන බලය ඇල්ලීමට වැදගත් වන ඡන්ද එකතු කිරීම සදහා විවිධ බොරු ව්‍යාපෘති කලින් කලට ඉදිරිපත් වීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත්තේ මේ නිසාවෙනුයි. නාමික ක්‍රීඩා සමාජ සදහා පසුගිය වසරේ එලෙස අති විශාල මුදලක් සාක්කුවට දා ගත් සමන් හේවාවිතාරණ ඇතුලු පිරිසගේ කතාව මෙතැන් සිට දිග හැරෙනවා.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසරේ ජූලි 29 වැනිදා රුපියල් ලක්ෂ 10 ක් ලබා දී ඇත්තේ කොල්ලුපිටිය ප්ලේ ග්‍රවුන්ඩ් ක්‍රීඩා සමාජයටයි. පීටර්සන් ක්‍රීඩා සමාජයට රුපියල් ලක්ෂ 10 ක් එදිනම ලබා දී තිබෙනවා. එලෙස එදිනම තවත් රුපියල් ලක්ෂ 10 ක් ලබා දී ඇත්තේ නෝමෑඩ්ස්  ක්‍රීඩා සමාජයටයි. මෙම ක්‍රීඩා සමාජ කොළඹ මහ නගර සභාව මගින් පාලනය වන ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක ක්‍රීඩා සමාජ ලෙස ක්‍රියාත්මක වන්නේ ක්‍රිකට් නිලවරණයේ ඡන්ද දෙකකටත් හිමිකම් කියමිනුයි. කොළඹ මහ නගර සභාවේ ක්‍රීඩා පිටි භාරකරු ලෙස සමන් හේවාවිතාරණ කටයුතු කරනවා. නිලවරණයේදී භාවිතා වන මෙම ක්‍රීඩා සමාජ ඡන්ද පිලිබද තීරණය ඔහු සතුවනවා. මෙම ක්‍රීඩා සමාජ සදහා නිලධාරී මණ්ඩලයක්, වාර්ශික රැස්වීම් හෝ ගිණුම් වාර්තා කිසිවක් ඇත්තේ නැහැ. ඒ වෙනුවට සිය පෞද්ගලික බූදලයක් ලෙස මෙම ක්‍රීඩා සමාජ සමන් පාලනය කරනවා. පසුගිය ක්‍රිකට් නිලවරණයේදී ඡන්දය ලබාදෙන බව පවසා ජයන්ත හා ශම්මි පාර්ශ්‍රව දෙකෙන්ම මුදල් ලබා ගැනීමට සමන් කටයුතු කළා. එහෙත් නිලවරණයේදී ඔහු ඡන්දය භාවිතා කළේ ශම්මි සිල්වා පාර්ශ්‍රවයටයි. මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිදහස් කර ඇති මෙම රුපියල් ලක්ෂ 30 ක මුදල වැටී ඇත්තේ සමන්ගේ සාක්කුවට බව වාර්තා වනවා. ඔහුට දිස්ත්‍රික් සම්බන්ධීකාරයකු ලෙස ඉහළ වැටුපක් ගෙවන නිකමෙකුගේ රැකියාවක් බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයේ ලබා දීමටද මේ දිනවල කටයුතු සූදානම් කෙරෙනවා. සමන් හා තවත් නගර සභා ක්‍රීඩාංගණ භාරකරුවන් කිහිප දෙනෙකුට එංගලන්ත සවාරියක්ද සපයා දී තිබීම ගැනත් තොරතුරු අප සතුයි. රැකියා කිහිපයක් කරමින් බෝධි සත්වයකු ලෙස හැසිරෙන මේ සමන් ගැන ඉදිරියේදී තොරතුරු රැසක් Lankasportsnews අප ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.

කණ්නාඩි පැලද සිටින්නේ සමන් හේවාවිතාරණයි



මෙහි කන්නාඩි පැළද සිටින්නේ සමන් හේවාවිතාරණයි


මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසරේ ජූලි 11 වැනිදා තවත් ක්‍රීඩා සමාජ හතරක් සදහා රුපියල් 1,125,000.00 මුදලක් නිදහස් කර තිබෙනවා. සදලංකා ක්‍රීඩා සමාජය, නාරම්මල ක්‍රීඩා සමාජය, කුරුණෑගල ක්‍රීඩා සමාජය හා හෙට්ටිපොළ ක්‍රීඩා සමාජය මෙලෙස මුදල් හිමිවූ ක්‍රීඩා සමාජ වනවා. මෙහිදී හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර යටතේ පවතින හෙට්ටිපොළ ක්‍රීඩා සමාජයට මුදල් ලබාදීම කැපී පෙනෙනවා. මීට පෙර දයාසිරි ජයසේකර ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ හෙට්ටිපොළ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් වුණා. පළමුව එම ක්‍රීඩා පිටිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ඉදිකරන බව පවසා ඇමතිවරයා රැවටීමට රුපියල් කෝටි තුනක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළා. අනතුරුව වෙන් කළ මුදලින් ඉදිකර අවසන් කළේ ක්‍රීඩා පිටිය වටේ තාප්පය පමණයි. ඒ අති විශාල මුදලක් වැය වූ බවට ක්‍රිකට් ආයතනයේ ගිණුම් ගත කරමිනුයි. එහෙත් පසුගිය වසරේ හෙට්ටිපොළ ක්‍රීඩා පිටිය ඉදිකිරීමට රුපියල් කෝටියක් දක්වා පළමු සැලසුමේ මුදල් කප්පාදුකර යලි ඉදිරිපත් කර තිබෙනවා. මේ අනුව හෙට්ටිපොළ ක්‍රීඩා පිටියේ වැඩ අවසන් කිරීමට ඉදිරි දෙමස තුල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වනවා. ක්‍රිකට් ආයතනය ඒබව පසුගිය අගෝස්තු 19 වැනිදා නිවේදනයද ඇතුලත් පහත ලිපිය බලන්න.


නාමල් ආ ගමන් එලියට ආ ක්‍රිකට් ක්‍රීඩාපිටි සංවර්ධන ප්‍රෝඩාව


පාලනයක් නැතුව ක්‍රිකට් විනාස කරමින් ඇති වත්මන් තත්වය ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙනස් කරනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වුණා. එහෙත් එවැන්නක් සදහා මෙතෙක් කිසිදු පියවරක් නොගැනීම පිලිබද ක්‍රිකට් ලෝලීන් මවිතයට පත්ව බලා සිටින්නේ අපේක්ෂා භංගත්වයෙනුයි. ක්‍රිකට් ආයතනයට හිතුමනාපේ මෙලෙස දුවන්න දී බලා සිටියදී ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි ක්‍රීඩා සංගම් ගණන 71 සිට 70 දක්වා අඩු කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ ලංකාවේ බොහෝ දෙනෙක් මෙතෙක් දිනක් ලියාපදිංචි ක්‍රීඩා සංගමයක් ලෙස පැවති බව පවා නොදත් ''ශ්‍රී ලංකා බෝල්රූම් ඩාන්සින් සම්මේලනයේ'' ලියාපදිංචිය අවලංගු කරමිනුයි. එලෙස සිදුකරනු ලැබුවේ මෙම සංගමය පිලිබද සිදු කළ විශේෂ පරීක්ෂණයකින් පසු 1972 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 32(ඇ) වගන්ති ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසනවා. මේ වන තෙක් උක්ත සම්මේලනය විසින් ජාතික ක්‍රීඩා සංගමයක් විසින් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටි නිසි පරිදි සිදු කර නොමැති බව අනාවරණය වූ බවයි අමාත්‍යාංශය නිවේදනය කළේ.


ඒ් සම්බන්ධව කරුණු සොයා බලා සකස් කළ වාර්තාවට අනුව 

* 2016/2017 වර්ෂවල ගිණුම් ප්‍රකාශන විගණනය නොකිරීම, 

* මව් සංගමයෙන් පාලනය වන පළාත් හෝ දිස්ත්‍රික් ක්‍රීඩා සංගම් පිහිටුවා නොතිබීම,

* ප්‍රාදේශීය වශයෙන් හෝ ජාතික වශයෙන් ක්‍රීඩා තරග නොපැවැත්වීම, 

* වාර්ෂික මහ සභා රැස්වීම්/නිළවරණ නොපැවැත්වීම මෙන්ම ඒම සම්මේලනය විසින් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ලබා දී ඇති ලිපිනය ද සත්‍ය නොවීම හේතුවෙන් අමාත්‍යාංශය විසින් යොමු කරනු ලබන ලිපි නැවත ක්‍රීඩා අමාත්‍යාංශයටම ලැබෙන බවද තහවුරු වූ බව සදහන්. 


''ශ්‍රී ලංකා බෝල්රූම් ඩාන්සින් සම්මේලනය'' 58 වන ජාතික ක්‍රීඩා සංගමය ලෙස 2016 මාර්තු 11 වන දින අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ලියාපදිංචි කර තිබුණා. ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි වී ඇති සියලුම ක්‍රීඩා සංගම් හා සම්මේලන පිළිබදව අමාත්‍යවරයාගේ  විශේෂ අවධානයට යොමු වන අතර, මෙහිදී ගිණුම් වාර්තාවල නිරවද්‍යතාවය,නියමිත කාල සීමා තුළ නිළවරණ පැවැත්වීම, පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් තරගාවලි පැවැත්වීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරනු ඇති බව එම නිවේදනයේ සදහන්.




එය දුටුවිට සිහියට ආවේ පහත් තැනින් යයි ගලා ජලේ යන කියමනයි. විශේෂ විගණන වාර්තාවක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වැරදිකරුවන් පාර්ලිමේන්තු කෝප් කමිටුව පසුගිය වසරේ අනාවරණය කළා. එහෙත් මෙතෙක් එම වැරදි සදහා කිසිදු පියවරක් ගැනීමට රජය හා ක්‍රීඩා අමාත්‍යවරයා අපොහොසත් වීම කැපී පෙනෙනවා. සැමට එක නීතියක් බව පවසමින් බලයට පැමිණි වත්මන් රජයට මෙතරම් ඉක්මනින් මැතිවරණ පොරොන්දු අමතක වී යාම පිලිබද ජනතාව පසුවන්නේ කනස්සල්ලෙන් බව සටහන් කළ යුතුමයි. ශ්‍රී ලංකා බෝල්රූම් ඩාන්සින් සම්මේලනයට ක්‍රීඩා නීතිය ක්‍රියාත්මක වූ පරිදිම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් නීතිය ක්‍රියාත්මක වන තුරු Lankasportsnews අප විමසිල්ලෙන් බලා සිටින්නේ රටේ සමස්ථ ජනතාව සමගිනුයි.









No comments:

Post a Comment