පය බරවාවට පිටිකර බෙහෙත් බැදීමට අති දක්ෂයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඕනෑ තරම් සිටිනවා. එය කොතරම් ව්‍යාප්තව ගොස් ඇත්දැයි පසුගිය කාලයේ අප වාර්තා කළ ප්‍රවෘත්ති සමගින් ඔබට අවබෝධයක් ඇති. වක්කඩේ හකුරු හැංගීම වැනි නිශ්පල ක්‍රියාවක් මේ දිනවල කොළඹ සිංහල ක්‍රීඩා සමාජය ( SSC ) සිදුකරමින් සිටිනවා. ඒ දියවෙමින් යන ක්‍රීඩා සමාජයේ ගෞරවය රැක ගැනීම සදහායි. ඔවුන් මෙලෙස අනුගමනය කරන හිසේ අමාරුවට කොට්ටේ මාරු කිරීම නිසාවෙන් උඩින් යන්න ගිය ඉබ්බාට වූ නස්පැත්තිය සිදුවන ක්‍රිකට් ක්‍රීඩකයන් පිලිබද සෝචනීය කතාව මෙතැන් සිට දිග හැරෙනවා.
ක්‍රිකට් පිටියේ කලක පටන් පිලිගැනීමක් වූයේ එවක ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ නායකයා හෝ ක්‍රිකට් ආයතන මුල් පුටු හොබවන බලධාරීන් නියෝජනය කරන ක්‍රීඩා කමාජයට ක්‍රීඩා කිරීමෙන් පහසුවෙන් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දොර විවර වන බවයි. මේ අනුව එවන් කණ්ඩායම්වලට ඇතුලත් වීමට පැවතියේ විශාල තරගයක්. මේ නිසාවෙන්ම කොළඹ මේට්ලන්ඩ් පෙදෙස ක්‍රිකට් ක්‍රීඩා සමාජ කිහිපයක් පමණක් කළක සිට පළමු පෙළ ක්‍රිකට් හෙවත් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ශූරතාවය දිනා ගන්නවා. එවන් ක්‍රීඩා සමාජවල ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන්ද බහුලව දැකිය හැකියි.
කලක් සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරණවිට බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුලත් වීමට පොර කෑවා. කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට එම ස්වර්ණමය යුගය උදා වූවේ ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරණ සමයේදීයි. ජනවර්ගයක් නොමැති ක්‍රීඩා සමාජය ( NCC ) කණ්ඩායමේ එම කාලය බවට පත්වුණේ දිනේෂ් චන්දිමාල් නායකත්වයට පැමිණීමත් සමගයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති තිලංග සුමතිපාල හා ශම්මි සිල්වා යුගයන් මේ වන විට කොළඹ ක්‍රීඩා සමාජය (CCC ) එලෙස ප්‍රිමියර් ලීග් ශූරතාව දිනා ගනිමින් ඇත්තේ වැඩිම ක්‍රීඩක ඉල්ලුමත් සමගයි. කෙසේ වෙතත් ඔවුන් සමග සැසදීමේදී පහසුකම් අවම මට්ටමින් ඇති චිලව් මේරියන්ස් ක්‍රීඩා සමාජය මෑත කාලයේ පළමුපෙල ක්‍රිකට් තරගාවලියේ පළමු කණ්ඩායම් තුන අතර රැදීමට සමත්වීම කැපී පෙනෙනවා.
සිංහල ක්‍රීඩා සමාජය ( SSC) , ජනවර්ගයක් නොමැති ක්‍රිකට් සමාජය ( NCC ) , කොළඹ ක්‍රිකට් ක්‍රීඩා සමාජය ( CCC ) මෙලෙස වැඩිම වාරයක් පළමු පෙළ ක්‍රිකට් හෙවත් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ශූරතාවය දිනා තිබෙනවා. ඒ අතරත් වැඩිම වරක් සාර්ථක වූ කණ්ඩායම ලෙස වාර්තා තැබූ සිංහල ක්‍රීඩා සමාජය ( SSC ) 32 වතාවක් ශූරතාවය දිනා සිටිනවා. ඔවුන් අවසන් වරට ශූරතාවය දිනා ගත්තේ 2016-2017 තරග වාරයේදීයි. එහෙත් අනතුරුව ගතවූ වසර තුනේ සීඝ්‍ර පසුභෑමකට ලක්ව මෙවර තරග වාරයේදී A කොටසේ සිට B කොටස දක්වා ඇද වැටීමේ අවධානමකට පවා ලක්වුණා. මේ අනුව ඔවුන් තරගාවලිය නිමා කළේ අවසන් කණ්ඩායම වීමෙන් යන්තම් බේරෙමිනුයි. මෙම ඉරණම ඔවුන්ට උදාවීම ආරම්භ වූයේ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලිණ කණ්ඩම්බි වැඩ ආරම්භ කිරීමත් සමගයි. වැඩ බැරි ටාසන් සිහිපත් කරමින් ඔහු දිනෙන් දින කණ්ඩායම අගාධයකට කැදවාගෙන යන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් නායක දිමුත් කරුණාරත්න සිංහල ක්‍රීඩා සමාජ කණ්ඩායමේ නායකත්වය දරණ විට වීම කැපී පෙනෙනවා. මෙම පරාජයන් රැල්ලෙන් කණ්ඩායම බේරා ගැනීම සදහා වත්මන් ක්‍රීඩා සභාවේ සභාපති හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සිංහල ක්‍රීඩා සමාජ ක්‍රිකට් කමිටු සභාපති ලෙසත් පත්කර ගත්තා.
මේ වන විට කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ( SSC ) ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ යොවුන් හා ජේෂ්ඨ ක්‍රීඩකයින් රැසක් සිටිනවා. එහෙත් ඔවුන් පරාජයන් රැල්ලකට උරුමකම් කියනවා. එයට හේතුව ක්‍රීඩකයන් නොමැතිකම නොව කණ්ඩායම සැලසුම් කිරීමට නොහැකිවීම හා ප්‍රධාන පුහුණුකරු තිලිණ කණ්ඩම්බි අසාර්ථක වීමයි. ප්‍රධාන පුහුණුකරු තරගයක් කියවීමට හා ක්‍රීඩක දක්ෂතා නිසි තක්සේරුවකින් යෙදවීමට සමත්වීම තරගයක ජයග්‍රහණය සදහා සෘජුව බලපානවා. බොහෝ විට දක්ෂ ක්‍රීඩකයන් අසාර්ථක පුහුණුකරුවන් වනවා. ඊට හේතුව ක්‍රීඩා කිරීම හා පුහුණු කිරීම හාත්පස වෙනස් භූමිකා වීමයි. මෙවර අසාර්ථක වී සිටින කණ්ඩම්බි එම ගොඩට ඇතුලත් වනවා. එහෙත් ඔහු සිය නොහැකියාව වසා ගැනීමට වරද පටවන්නේ ක්‍රීඩකයන් වෙතයි. දක්ෂයින් නොමැතිවීම පරාජයට හේතුව ලෙස ඔහු සියල්ලන්ටම පවසනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සිය කණ්ඩායමට නායකත්වය ලබාදෙන බව ඔහුට අමතකව තිබෙනවා.
ප්‍රමුඛ පෙළ ක්‍රිකට් ක්‍රීඩා සමාජ අතර කලක පටන් තිබූ එකගතාවක් වූයේ එක් ක්‍රීඩා සමාජයක හොදම ක්‍රීඩකයන් උපාය මාර්ගිකව වෙනත් ක්‍රීඩා සමාජයක් ඩැගැ නොගැනීමයි. එහෙත් පුහුණුකරු අසාර්ථක වීමෙන් අන්ත අසරණ වී සිටින සිංහල ක්‍රීඩා සමාජය ( SSC ) මේ දිනවල දක්ෂයින් පස්සේ පන්නන්නේ හොදින් බැරිනම් නරකින් හෝ සිය කණ්ඩායමට එක්කර ගැනීම සදහායි. මේ වෙනුවෙන් ඔවුන් ක්‍රීඩකයන් සදහා තර්ජනාත්මක බලපෑම්ද සිදුකරනවා. ගොඩ වැඩිකර ගැනීමේ පිපාසයකින් පෙලෙන ඔවුන් පසුගියදා චිලව් මේරියන්ස් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් දෙදෙනෙක්ට මෙලෙස බලපෑම් කර තිබුණා. එම ක්‍රීඩකයින් සියතින් සිය ගෙල වැලලා ගැනීමට නොහැකි බව පවසා මේ පිලිබද චිලව් මේරියන්ස් ක්‍රීඩා සමාජයට දැනුම් දී තිබෙනවා. මේ අනුව එම ක්‍රීඩා සමාජය සිංහල ක්‍රීඩා සමාජයට ( SSC ) සිය කණගාටුව පළකරමින් විරෝධය ලිඛිතව දැනුම් දී අවසන්.
මීට පෙර සිංහල ක්‍රීඩා සමාජයට ඇතුලත් වීමට ක්‍රීඩකයන් පොර කෑවා. ඔවුන් බංකුවේ සිටීමට හෝ එක්වීමට කැමැත්ත පළකළා. එහෙත් අද වන විට ක්‍රීඩකයන් සිංහල ක්‍රීඩා සමාජයට එක්වීම ප්‍රතික්ෂේප කිරීම නිසාවෙන් දිමුත් කරුණාරත්න හා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දම්මික ප්‍රසාද් ක්‍රීඩකයන් බිය වද්දමින් බලපෑම් කරන බවයි වාර්තා වන්නේ. මෙලෙස බලපෑමට ලක්වූ ක්‍රීඩකයන් Lankasportsnews අප වෙත කියා සිටියේ සැරසන්ස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ වයස 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් දෙදෙනෙක් හා කොළඹ ක්‍රීඩා සමාජය (CCC ) නියෝජනය කළ 19 න් පහළ කණ්ඩායමේ දක්ෂතම ක්‍රීඩකයෙක් ඒ අතර ප්‍රමුඛ බවයි. ඔවුන් කිසා සිටියේ සිය අනාගතය මෙම බලපෑම් සමග අනාරක්ෂිතය බවක් හැගී යන බවයි.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙනුවෙන් පසුගිය මහ මැතිවරණයට එලිපිට වැඩ කළ ධම්මික ප්‍රසාද් ක්‍රීඩකයන් සමග පවසා ඇත්තේ තමන් වියත් මග සාමාජිකයෙක් නිසාවෙන් සිංහල ක්‍රීඩා සමාජයට එක්වන ලෙසයි. තමන් ඉදිරියේදී ජාතික කණ්ඩායමට එක්වන ආකාරය ආරාධනය පිලිගන්නා පිරිසට පෙන්වීමට සූදානම් බවත් පවසා ඇත්තේ මෙම දේශපාලන සබදතාව හුවා දක්වමින්. ඔවුන් මෙලෙස ක්‍රීඩකයින්ට බලපෑම් කරන්නේ දක්ෂයින් බංකුවේ පවා සිටින තරම්, විශාල පිරිසක් සිටියදී බව සිහිපත් කළ යුතුයි. කලක් මෙලෙස සිංහල ක්‍රීඩා සමාජ ( SSC ) කණ්ඩායමේ සිටි ඕෂද ප්‍රනාන්දු තරග සමයේ ක්‍රීඩා කළේ තරග දෙකක් පමණයි. වතුර ඇදීම හා බංකුව ඔහුට අනෙක් තරග සියල්ලේම උරුම වුණා. මේ අනුව ඊලග තරග වාරයේදී ඕෂද ක්‍රීඩා කළේ චිලව් මේරියන්ස් ක්‍රීඩා සමාජයටයි. එහිදී ලකුණු 1000 සම්පූර්ණ කර ගනිමින් එම තරගවාරයෙන් පසු ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඇතුලත් වීමට පවා ඔහුට හැකි වුණා.
සැලසුම් සකස් කිරීම හා ක්‍රීඩකයින් කළමනාකරණය කිරීමට අසමත්ව ක්‍රීඩකයින් බිලී බා ගැනීමේ නිරත සිංහල ක්‍රීඩා සමාජය ක්‍රිකට් ක්ෂේත්‍රයේ මේ වන විට දැඩි අප්‍රසාදයට ලක්ව සිටිනවා. ඒ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති හා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සිංහල ක්‍රීඩා සමාජ ක්‍රිකට් කමිටු සභාපති ලෙස කටයුතු කරන සමයක වීම කැපී පෙනෙනවා. මහේල ජයවර්ධන නිරතුරුම සැලසුම් ගැන පවසනවා ඔබ අසා ඇති. එලෙස තමන් සභාපති ලෙස සිටින සිංහල ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් නැංවීමට සැලසුම් සකස් නොකිරීම මේ වන විට කතා බහට ලක්ව තිබෙනවා. මෙම සිදුවීම සමග ලෙඩේ හදුනා නොගෙන කෝකටත් තෛලය ලෙස ඔලුගෙඩි මාරුව සිදුකිරීම ප්‍රතිකර්මය වූ පිරිසකගෙන් ක්‍රීඩා සංවර්ධනය බලාපොරොත්තු වීම ඉබ්බාගෙන් පිහාටු ඉල්ලීමක්ම වනු ඇතැයිද ඇතමුන් පවසනවා.
ක්‍රීඩකයන් බිලී බෑමට ගොස් ඔවුන් අපහසුතාවට පත් නොකරන දිනය උදාවන තුරු Lankasportsnews අප විමසිල්ලෙන් බව සටහන් කළ යුතුයි. මෙම ලිපියේදී බොහෝ දෙනෙකුගේ සුදු පිරුවට රැකීමට කටයුතු කළ බවත් ලියා තැබිය යුතුයි. එහෙත් දිගින් දිගටම මෙය සිදුවන්නේ නම් ජනතාව හුරේ දාන බොහෝ දෙනෙකුගේ නිරුවත හෙලි කිරීමට අප පසුබට වන්නේද නැහැ. මේ සියල්ල සිදුවන සිංහල ක්‍රීඩා සමාජයේ ( SSC ) ප්‍රභල කමිටු සාමාජිකයෙක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලේකම් මොහාන් ද සිල්වා සිටිනවා. සිංහල ක්‍රීඩා සමාජයේ ( SSC ) එක් පසකින් මොහාන් සිටිද්දී අනෙක් පසින් සිටින්නේ මහේලයි. වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද අවනඩුව ලෙස පමණක් අවසන් වශයෙන් ලියා තැබීමට සිදුවනවා.
සබැඳි පෙර ලිපියක්
No comments:
Post a Comment