• Breaking News

    ක්‍රිකට් විශ්වවිද්‍යාල ප්‍රෝඩාව ඉහළ දක්ෂතා මධ්‍යස්ථානයවී අතුරුදන් වෙයි - Video


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මූල්‍ය වංචා රැසක් සිදුකළ දූෂිතම ආයතනයක් බව පසුගිය පාර්ලිමේන්තු කෝප් කමිටුවේදී අනාවරණය වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලෙස පොහොට්ටුවෙන් තරග කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන හිටපු සභාපති තිලංග සුමතිපාල මහ මැතිවරණයේදී අන්ත පරාජයකට ලක්වුණා. ඊට ශ්‍රී ලංකාව ලොව දූෂිතම ක්‍රිකට් රට ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නම් කිරීමත් හේතු වන්නට ඇති. පොහොට්ටුව පාර්ලිමේන්තුවේ 2/3 ක අති බහුතරයක් ලබාගනිද්දී හිටපු පාර්ලිමේන්තු නියෝජ්‍ය කතානායක වූ තිලංග කැපී යාම විශේෂ වනවා. ජනතාව එලෙස දඩුවම් ලබාදුන්නත් විශේෂ විගණන වාර්තාවක් මගින් අනාවරණය වූ ක්‍රිකට් වංචා වෙනුවෙන් රජය මෙතෙක් නිහඩ පිලිවෙතක් අනුගමනය කරනවා. මේ අනුව තිලංග සුමතිපාලට දූෂණ අක්‍රමිකතා වෙනුවෙන් පහසුකම් සැපයූ ක්‍රිකට් විධායක කමිටු සාමාජික සුජීව ගොඩලියැද්ද වැන්නවුන් අදටත් සුවසේ වැජබෙනවා. වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ එම දූෂණ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන තුරු බලා සිටියදී එහිදී අනාවරණය වූ මහනුවර ක්‍රිකට් ඉහළ දක්ෂතා මධ්‍යස්ථාන මේ වන විට අතුරුදන් වී තිබෙනවා. මේ ඒ පිලිබද අනාවරණයයි.


    කන්න ඕනෑ වූ විට කබරගොයත් තලගොයා වන බව ඔබ අසා ඇති. මහ නායක හිමිවරුන් පවා රවටමින් මල්වතු විහාරයට හා ගංගාරාම විහාරයට අයත් ඉඩමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2017 වසරේදී බදු ගත්තා. ඒ රටේ පමණක් නොව ලෝකයේම ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් විවෘත කළ හැකි ක්‍රිකට් විශ්වවිද්‍යාලයක් එම ඉඩමේ අරඹන බව කියමිනුයි. වසර 30 ක් වෙනුවෙන් බදු ගත් මෙම ඉඩමට බදු ගිවිසුම් අත්සන් කළේ රුපියල් 26,250,000 කටයි. එහෙත් ඉඩමට තක්සේරු වාර්තා නැතුව එලෙස 2017 අප්‍රේල් 20 වනදා මෙම බදු ගිවිසුම් අත්සන් කර තිබෙනවා. එලෙස මිලදී ගැනීමට ක්‍රිකට් විධායක කමිටු අනුමැතිය ලබාගත් බව කියන්නේ මල්වතු පාර්ශ්‍රවයේ මහ නායක හිමිට පවසා සියල්ල සිදු කලාට පසුව වීමත් කැපී පෙනෙනවා.

     



    කෙසේ වෙතත් 2019 හා 2018 වෙනුවෙන් ඉඩමට බදු මුදල් පවා ගෙවා නෑ. එහෙත් මල්වතු විහාරයට රුපියල් 25,000,000 ක් ලබා දී ඇත්තේ ඉදිකරමින් ඇති විහාර හොඩනැගිල්ලක් සදහායි. එමෙන්ම බදු වෙනුවෙන් 2017 මැයි 08 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කර ඇති රුපියල් 250,000 ක චෙක් පත ගංගාරාම විහාරයට ලබාදී ඇති බවට කිසිදු සාක්ෂියක් ඇත්තේ ද නෑ. බදු ඔප්පුවේ කොන්දේසි අනුව මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, මහවැලි සංවර්ධන අධිකාරිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු යන ආයතන වලින් ඉදිකිරීම් සදහා අවසර ලබා ගත යුතුයි. නමුත් ඒ කිසිවක් සිදුකර නැහැ. කඩදාසියක් ලිපේ දැම්මාක් සේ කඩි මුඩියේ ඉඩමක් බදු ගත්තත් ක්‍රිකට් විශ්වවිද්‍යාලයක් වෙනුවෙන් ආයතනික පහසුකම්, පාඨමාලා විශයන් හා විශය නිර්දේශ කිසිවක් සකස්කර ද නැහැ. මේ නිසාවෙන්ම ක්‍රිකට් විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම ගැන උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ද කිසිවක් දැනුම් දී නැත. ඒ වෙනුවට හිටපු සභාපති තිලංග සුමතිපාල හා එක්ව ක්‍රිකට් විධායක කමිටු සාමාජික සුජීව ගොඩලියැද්ද පෞද්ගලික උවමනාවන් වෙනුවෙන් මෙම ඉඩම යොදාගැනීමට සැලසුම් සකස් කර ඇතැයි වාර්තා වනවා.






    මෙලෙස ක්‍රිකට් විශ්වවිද්‍යාලය ඉදිකිරීමට ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ Colombo School of Bussiness Mangement ආයතනයයි. ඊට අනුව 2018 සැප්තැම්බර් 26 මුල්ගල තබා 2019 අගෝස්තු 01 ඉදිකිරීම් අවසන් කළ යුතුයි. එහෙත් මේ වන තුරු ඉඩම අස් පස් කිරීමක් හෝ සිදුව නෑ. එම ව්‍යාපෘති යෝජනාව හැර ශක්‍යතා වාර්තාවක් සිදුකර නොතිබීමත් පුදුමයට කරුණක් වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉඩම මැනීමට මිනින්දෝරුවෙක් තෝරාගෙන නැහැ. ඒ වෙනුවට LAN MANAGEMENT DEVELOPMENT SERVICE (PVT) LTD නම් පෞද්ගලික ආයතනය හරහා මිනින්දෝරුවෙක් යොදවා තිබෙනවා. එම ආයතනය 2017 දෙසැම්බර් 29 වනදා මෙම ව්‍යාපෘති කළමනාකරු ලෙස පත්කර තිබෙනවා. ඊට මාස 11 කට පෙරයි ඔවුන් හරහා මිනින්දෝරුවෙක් යොදවා ඉඩම මැන 2017 අප්‍රේල් 03 පිඹුරුපත් සකසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඔවුන් ඉදිරිපත් කර ඇත්තේ.






    මෙම ඉඩම බදු ගැනීමට පෙර නිරවුල් කර නොගැනීම නිසා බදු ඉඩමේ පුද්ගලයෙක් ඉවත් කිරීමට රුපියල් 500,000 ක් 2018 ජනවාරි 25 ලබා දී තිබෙනවා. මෙමගින් පෙන්නුම් කරන්නේ කිසිදු සොයාබැලීමක් නැතුව ඉඩම බදුගෙන ඇති බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මුදල් වැය කිරීම සිදුකර ඇත්තේ බූදලයට කිරීමට වැඩක් නැති නිසා හිතු මනාපේ වියදම් කිරීමක් ලෙසයි. එමෙන්ම මෙහි සැකයට මුල්වන සිදුවීම් අතර මෙම ඉඩම බදු ගැනීම, බදු ගිවිසුම් සැකසීම, නොතාරිස් සහය ලබා ගැනීම, ව්‍යාපෘති ලිපිගොනු පවත්වා ගැනීම යන සියල්ල එකම නිලධාරියා සිදුකිරීමයි. ඔහු නම් දැරූ දූෂිතම නිලධාරියා ලෙස කිරුළු පැලදූ සුජීව ගොඩලියැද්දයි. ඔහු මෙම ව්‍යාපෘතිය ඔස්සේ ගොඩ වැඩි කර ගැනීමේ මෙහෙයුමක නිරතව සිටිනවා. මේ අතර ඉඩමේ මුරකරු ලෙස 2017 අප්‍රේල් 20 පුද්ගලයෙක් බදවාගෙන 2019 මාර්තු වනතුරු මාසිකව වැටුප් ගෙවා තිබෙනවා. එලෙස රුපියල් 618,088 ක් ගෙවීම් සිදුකළත් එවැනි පුද්ගලයෙක් සොයා ගැනීමට ඉඩමට ගිය විගණකාධිපති දෙපාර්තමේන්තු නිලධාරීන්ට හැකිව නැහැ. මෙලෙස ක්‍රිකට් විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමට යැයි කියා 2017 වසරේ ඇස්තමේන්තුව රුපියල් 50,000,000 ක් සිදුකර ඉන් වියදම ලෙස රුපියල් 25,987,500 ක් දක්වා තිබෙනවා. 2018 වසර ඇස්තමේන්තුව රුපියල් 200,000,000 ක් හා ඉන් වියදම රුපියල් 500,000 ක් ලෙස සදහන්. එමෙන්ම  2019 වසර ඇස්තමේන්තුව 10,000,000 ක් ලෙස දක්වා තිබෙනවා.





    පාර්ලිමේන්තු කෝප් කමිටුවේදී අනාවරණය වූ මෙම විශේෂ විගණන වාර්තාවේ තොරතුරු අනුව මහා මූල්‍ය වංචාවක තොරතුරු අනාවරණය වුණා. ක්‍රිකට් විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමට නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ අනුමැතිය ලබාගත යුතුයි. ඒ සදහා ඇත්තටම ක්‍රිකට් විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමට සැලසුම් ඉදිරිපත් කළ යුතු වනවා. සැබවින්ම එවැන්නක් ඉදිකිරීමට අවශ්‍ය නොවීම හේතුවෙන් ව්‍යාපෘතියේ නම ක්‍රිකට් ඉහළ දක්ෂතා මධ්‍යස්ථාන ලෙස මාරුකර තිබෙනවා. මේ අනුව මෙම ඉඩම ක්‍රිකට් ආයතනය නමට ලබාගෙන පෞද්ගලික බූදලයක් ලෙස පරිහරණය කිරීමට සැලසුම් කරන්නට ඇතැයි යන සැකය ඉවත දැමිය නොහැකියි. සුජීව ගොඩලියැද්ද එලෙස ක්‍රිකට් ඉඩම් ගොඩ කරමින් වටේම ගොඩ දාමින් ගේම් ගැසීමට නම් ගිය පුද්ගලයෙක් වීම එම සැකය තවත් තීවෘර කරනවා. අවසන් කෝප් කමිටු රැස්වීමේදී 2020.02.20 වනදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා දැඩිව කියා සිටියේ තණතීරු 20 ක් සහිතව ඉහළ දක්ෂතා මධ්‍යස්ථානයේ වැඩ ඉදිරි සති දෙක තුන තුල ආරම්භ කරන බවයි. එහෙත් මෙතෙක් කිසිවක් සිදුකර නැහැ. සැබවින්ම මෙවන් ඉඩමක් රුපියල් ලක්ෂ 250 කට අධික වැයක් සිදුකරමින් මිලදී ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිසිදු අවශ්‍යතාවක් නැහැ. ඒ පල්ලෙකැලේ, දඹුල්ල, සූරියවැව මේ වෙනුවෙන් ඕන තරම් මේ වෙනුවෙන් ඉඩ පහසුකම් පැවතීම නිසයි.


    මාස 7 ක් ගතවී ඇතත් තවමත් ශම්මි සිල්වාගේ සති දෙක තුන ගතව නැත. ඒ ඔහු පසුගිය පෙබරවාරි 20 වැනිදා පැවසූ ලෙස මෙතෙක් ක්‍රිකට් ඉහළ දක්ෂතා මධ්‍යස්ථානය ඉදිකිරීමට කිසිවක් සිදු නොකිරීම නිසාවෙනුයි. එහෙත් සැලසුම් සකස්කිරීම වෙනුවෙන් සුජීව ගොඩලියැද්ද මේ වෙනුවෙන් විශාලම කුට්ටිය යලිත් කඩාගෙන අවසන්. මේ අනුව බැලූ විට මෙම ඉඩම බදු ගැනීමේ සිට මේ දක්වා මහ මොළකරු ලෙස වටෙන්ම ගාන කඩාගෙන ඇත්තේ වෙන කිසිවක් නොව සුජීව ගොඩලියැද්දයි. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පසුගියදා පැවසුවේ ක්‍රීඩා ආර්ථිකයක් ඇති කරන බවයි. 2014 වසරේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ සකස්කළ ක්‍රීඩා ප්‍රතිපත්තියේ ප්‍රධාන අංගයක් ලෙස එය පවතිනවා. පසුගිය කාලයේ සිටි කිසිදු ක්‍රීඩා අමාත්‍යවරයෙක් ක්‍රීඩා ප්‍රතිපත්තියක් පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව ගැසට් කර පවා ඇතැයි දැන සිටියේ නැහැ. මේ අනුව ක්‍රීඩා ආර්ථිකයක් ගොඩ නැගීමට නම් මෙම ව්‍යාපෘතිය කරලියට ගෙන එමින් එය සිදුකළ හැකියි. ක්‍රිකට් ආයතනය කාබාසිනියා කළ මුදල් පිලිබද විශේෂ විගණන වාර්තාවේ සාක්ෂි සහිතව දැක්වෙන කරුණු වෙනුවෙන් හැකිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙස අප ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම යට ගසා ඇති මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලෙස උපදෙස් ලබාදීමටද එවිට හැකි වනවා.



    ලංකාවේ මිනිස්සුන්ට ක්‍රිකට් කියන්නේ ආගමක් හා සමාන බව මෙරට කිසිදු ක්‍රීඩා අමාත්‍යවරයෙක් හරි හැටි අවභෝධ කර ගත්තේ නෑ. මෙවර මහ මැතිවරණ ප්‍රතිඵල දිහා බැලූ විට එය හොදින් වටහා ගත හැකිවනු ඇතැයි සිතේ. එය වටහා ගතහොත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ අනාගත දේශපාලනය කිසිවෙක් නොසිතූ පරිදි ඔප්නැංවෙනු ඇති. එහෙත් ක්‍රිකට් යනු දෙපැත්ත කැපෙන කඩුවක් වගේ බව අමුතුවෙන් කිව යුතු නෑ. මේ ලැබී ඇති අවස්තාව ප්‍රයෝජනයට ගෙන ක්‍රිකට් දූෂණ වෙනුවෙන් පියවර ගැනීම තව දුරටත් පමා කිරීමෙන් දිය වෙන්නේ ජනතාව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙත තැබූ විශ්වාස බව සිහිපත් කළ යුතුයි. මෙලෙස කල් මැරීමෙන් ඔහුගේ දේශපාලන අනාගතයට එය බල නොපානු ඇතැයි සිතනවා නම් පුදුම විය යුතුයි. මහ නායක හිමිවරුන් පවා මුලාකළ ක්‍රිකට් ආයතනය ඉහළ දක්ෂතා මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ආරම්භ කරමින් මහනුවර නටන්න යන නාඩගම කුමක්දැයි තවමත් ක්‍රිකට් ලෝලීන් නොයිවසිල්ලෙන් බලා සිටින බව පමණක් අවසන් වශයෙන් ලියා තබනවා.



    No comments