Tuesday, March 23, 2021

ක්‍රිකට් ආයතනය චිලීන් විත් රසල්ට, රුපියල් ලක්ෂ 72 ක පින් පඩි ගෙවීම ගැන පරීක්ෂණයක්


ගලන ගඟෙන් දිය දෝතක් ගත්තට කමක් නෑ කියල හිතල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පින් පඩි ගන්න පිරිස එන්න එන්නම වැඩි වෙමින් තිබෙනවා. සේවයක් නැතුව පින් පඩි ගන්න පිරිස අතරට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ද ඇතුලත් වීම කණගාටුවට කරුණක්. එලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රුපියල් ලක්ෂ 72 ක පින් පඩියක් ගත්ත රසල් ආනල්ඩ් පිලිබද කෝප් කමිටුවේදී ප්‍රශ්න කිරීමට තීරණය කර තිබෙනවා. ඉවක් බවක් නැතුව ශ්‍රී ලංකා ක්‍රිකට් මුදල් කාබාසිනියා කිරීම් ඇතුලටම වැටී ඇති රසල් ආනල්ඩ් කතා වස්තුව මෙතැන් සිට බලාපොරොත්තුව වන්න.


ලෙජන්ඩ් ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ් ක්‍රිකට් කණ්ඩායමේ විවිධ වීඩියෝ සමාජ මාධ්‍ය තුල සංසරණය වුණා. ඒ අතර චිලීන් විත් රසල් යනුවෙන් සදහන් වූ වීඩියෝ දර්ශනයක්ද දක්නට ලැබුණා. චිලීන් විත් රසල්ව දුටු අපිට අද කීමට සිදුව ඇත්තේ චිලී මෙන් උණුසුම් එහෙත් කඳුලු නැගෙන සෝචනීය සිදුවීමකුයි. ඊට පෙර එම වීඩියෝව දැක නැති අය වෙනුවෙන් පහත අප පළකර ඇත්තේ චිලීන් විත් රසල්ගේ වීඩියෝවයි.

ශ්‍රී ලංකාව තුල අවස්ථා කිහිපයකදීම ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. එහෙත් ඒ සියල්ල වසර ගණනක් යන තුරුම මුසාවාද පමණක් වුණා. මෙලෙස කලින් කලට ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම නිවේදනය කිරීම හිතවතුන්ට මුදල් බෙදීමේ හා ව්‍යාපෘති පෙන්වා මුදල් ගැරීමේ දහං ගැටයක් බවටත් පසුව පරිවර්තනය වුණා. එලෙස මෙම තරගාවලිය පෙන්නා මුදල් ගැරූ අය අතරට හිටපු ක්‍රිකට් ක්‍රීඩක හා විස්තර විචාරක රසල් ආනල්ඩ් ද ඇතුලත් වනවා. 2018 වසරේ අප්‍රෙල් 07 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ පැවැත්වීමට සැලසුම් කර ඇති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂ ලෙස රසල් ආනල්ඩ්ව පත් කරන බවයි. ඒ සදහා ඔහුට එතැන් සිට ඇමරිකා ඩොලර් 10,000 ක මාසික වැටුපක් ලබා දුන්නා. ඒ වන විට ඇමරිකා ඩොලරයක් පැවතියේ ශ්‍රී ලංකා රූපියල් 180 ක් ලසයි. මේ අනුව ආනල්ඩ් මාසිකව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රුපියල් ලක්ෂ 18 ක වැටුපක් ලබා ගත්තා.  පහත දැක්වෙන්නේ ඔහුට පත්වීම ලබාදුන් නිවේදනයයි.



එහෙත් ඉන් මාස හතරකට පසු එනම් 2018 වසරේ ජූලි මස 14 වැනිදා ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අවලංගු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. ඒ, එම මාස 04 සදහා කිසිදු සේවයක් නැතුව ඇමරිකා ඩොලර් 10,000 බැගින් ආනල්ඩ්ට වැටුප් ගෙවීමෙන් පසුවයි. එනම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පින් පඩියක් ලෙස ඇමරිකා ඩොලර් 40,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 72 ක්  ගෙවා තිබෙනවා. මෙම කාලය තුල ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නොපැමිණ රැදී සිට ඇත්තේ ඕස්ට්‍රේලියාවේ බවත් වාර්තා වනවා. ක්‍රිකට් ආයතන මුදල් කාබාසිනියා කිරීම් අතරට එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් දියුණුව වෙනුවෙන් ඇති මුදල් ක්‍රිකට් ලෝලීන්වත් මුලා කරමින් රසල් සාක්කුවට දා ගත් අවස්තාවක් ලෙස සදහන් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිවේදනය පහත දැක්වෙනවා.



මෙලෙස රසල් ආනල්ඩ්ට පින් පඩියක් ලෙස රුපියල් ලක්ෂ 72 ක් කිසිදු සේවයක් නැතුව ගෙවීම මීළඟ කෝප් කමිටුවේදී ප්‍රශ්න කිරීමට සූදානම් වන බව Lankasportsnews අපට වාර්තා වනවා. කෝප් කමිටුව චරිත හේරත්ගේ සභාපතිත්වයෙන් ලබන මස 07 වැනිදා (2021/04/07) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැඳවීමට තීරණය කර තිබෙනවා. පසුගිය කෝප් කමිටුවේදී නගන ලද ප්‍රශ්න සදහා පිලිතුරු දීමට කිසිදු සූදානමක් නැතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් පැමිණ නිරුත්තරව නිරුවත් වනු ඔබට මතක ඇති. මෙවර කෝප් කමිටුව හමුවට ගොස් යලිත් විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරි වෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් කටයුතු කරන තුරු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ බකන් නිලා සිටිනු ඇත්දැයි රටම විමසිල්ලෙන් බලා සිටිනවා. මෙවරත් ඔවුන් පෙර ලෙසම කටයුතු කළහොත් නිරුවත් වන්නේ ඔවුන් පමණක් නොව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂත් සමග බව අවසන් ලෙස සටහන් කළ යුතුමයි.

 

No comments:

Post a Comment