නීති විරෝධී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කොදෙව්වන් ඉදිරියේත් අසරණ වෙයි
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය පන්දු 41 ක් ඉතිරිව තිබියදී කඩුලු 04 ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. නවක ක්‍රීඩකයින් රැසක් සමග ඇන්ජලෝ මැතිව්ස්ගේ කලකට පසු නායකත්වයෙන් තරගයට පිවිසි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කාසියේ වාසිය පරාජය වීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන්නා.
මංගල තරගයට ක්‍රීඩා කළ පැතුම් නිශ්ෂංක ලකුණු 39 ක් ලබා ගත් අතර නිරෝෂන් දික්වැල්ල ලකුණු 33 ක් ලබා ගත්තා. එහෙත් අනෙක් පිතිකරුවන් 08 දෙනාම ලකුණු 12 සීමාව පසු කිරීමට සමත් වුණේ නැහැ. මේ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 131 ක් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත්තා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් ප්‍රවේගකාරී ආරම්භයක් ලබා ගත්තා. එහෙත් තුන්වන පන්දුවාරයේ දෙවන පන්දුවේ සිට කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට අකිල ධනංජය සමත් වුණා. එහිදී ක්‍රිස් ගේල් මුහුණදුන් පළමු පන්දුවෙන්ම තරග නරඹන්නෙක් කිරීමට අකිල සමත්වීම කැපී පෙනෙනවා. මේ අනුව පන්දුවාර හතරක් නිමාවන විට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම කඩුලු 03 ක් දැවී ලකුණු 57 ක් ලබා සිටියා. එහෙත් දිගටම පිතිකරුවන් වෙත පීඩනය යොමු කරමින් තරගයේ පාලනය ශ්‍රී ලංකා පන්දු යවන්නන් ලබා ගැනීමට උත්සාහ කළා.
එහෙත් අකිල ධනංජයගේ කඩුලු ත්‍රිත්වයට පසු යොමුකළ පන්දු වාරයේදී ගිණි කෙලි සංදර්ශනයක් පවත්වමින් ඊට පිලිතුරු දීමට කිරාන් පොලාඩ් කටයුතු කළේ එම පන්දුවාරයේ හයේ පහර හයක් එල්ල කරමිනුයි. කෙසේ වෙතත් ඉන් අනතුරව ක්‍රියාත්මක කළ හත්වන පන්දුවාරයේදී පොලාඩ් ඇතුලුව පිට පිට කඩුලු දෙකක් දවා ගැනීමට වනිදු හසරංග සමත් වුණා.
අනතුරුව යලිත් 09 වන පන්දුවාරයේදී ඩීප් මිඩ් විකට් කලාපයේ රැදී සිටි බණ්ඩාර වෙත අකිල ධනංජයගේ පන්දුවකට ජේසන් හෝල්ඩ උඩ පන්දුවක් ලබා දුන්නා. එහෙත් තරගයේ ජයග්‍රහණය තීරණය කළ එම උඩ පන්දුව රැක ගැනීමට බණ්ඩාර සමත් වුණේ නැහැ. ඉන් ප්‍රයෝජන ගනිමින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය වෙත ලං වුණා.
මේ අනුව පන්දුවාර 13 යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 06 ක් පමණක් දැවී ජයග්‍රහණයට දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් ලකුණු 134 ක් ලබා ගැනීමට සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. තරගයේ වීරයා සම්මානය වේගවත් ලකුණු 38 ක් ලබා ගත් නායක කිරන් පොලාඩ් දිනා ගත්තා.
තරගයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේ ලකුණු 160 ක් ලබා ගැනීමට තිබූ අවස්තාව මැදපෙළ හා පසුපෙළ පිතිකරුවන් අසාර්ථක වීම හේතුවෙන් වැලකී ගිය බවයි. එමෙන්ම තරගයේ ජයග්‍රහණය වැලැක්වීමට අශේන් බණ්ඩාර අතින් ගිලිහී ගිය උඩ පන්දුව හේතු වූ බවයි.
කෙසේ වෙතත් මෙම තරගය ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයට කළු පැල්ලමක් එක් කළ තරගයක් ලෙස සටහන් කළ යුතුයි. ඒ ක්‍රීඩා නීතියට අමු අමුවේ උල්ලංඝනය කරමින් තේරීම් කමිටුවක් නැතුව තෝරාගත් සංචිතයක් මගින් නම් කළ කණ්ඩායමක් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකාව නියෝජනය කිරීමයි. අවසන් තරගාවලි දෙකේ පරාජයේ වගකීම ගෙන අසන්ත ද මෙල් ප්රමුඛ තේරීම් කමිටුව ඉල්ලා අස්වුණා. මෙවර තේරීම් කමිටුවක් නැතුව ක්‍රීඩා නීතිය උල්ලංඝනය කරමින් නීතිය නැවු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට මෙම තරගාවලියේ වගකීමෙන් කර ඇරීමට බැරි බව සිහිපත් කළ යුතුයි. එමෙන්ම මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL 2021) ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබා දෙන ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන හා සාමාජික කුමාර් සංගක්කාරට මෙම තරගාවලියේ වගකීමෙන් ගැලවී යාමට බැරි බව අවසන් ලෙස සටහන් කළ යුතුයි.
No comments