• Breaking News

    ක්‍රිකට් ශම්මිව පන්නා නිශාන්ත බලය අල්ලයි ?


    උනුත් එකයි, මුනුත් එකයි, එහෙම කියන උනුත් එකයි කියල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැන ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පසුගියදා කිව්වා ඔබට මතක ඇති. ක්‍රිකට් හොරු ඇල්ලීම නොව තම රාජකාරිය ක්‍රීඩක සංවර්ධනය බවත් එහිදී ඔහු කියා සිටියා. මෙලෙස ඉදිරි පාදයේ ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කළ ක්‍රීඩා අමාත්‍යවරයා සූක්ෂම ලෙස ක්‍රිකට් ගොඩ ගැනීමේ මෙහෙයුමක නිරතව සිටිනවා. මේ අතර නීතිපතිවරයා දැනුම් දී ඇත්තේ ක්‍රිකට් වත්මන් පරිපාලනය නීති විරෝධී බවයි. මේ අනුව ක්‍රිකට් ආයතනයට කෙටි කාලීන අතුරු කමිටුවක් හෝ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් යටතේ පරිපාලන කමිටුවක් පත් කිරීමට සූදානම් වන බව Lankasportsnews අප වෙත වාර්තා වනවා. අද සිට ඇරඹෙන මෙම සතිය තුල සිදුවීමට නියමිත එම කතා වස්තුව වටා මෙතැන් සිට පෙල ගැස්වෙනවා.


    අවසන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය පැවැත්වුණේ 2019 වසරේ පෙබරවාරි 21 වැනිදායි. වසර දෙකක් සදහා එහිදී ක්‍රිකට් විධායක කමිටු නිලධාරීන් තෝරා ගත්තා. මේ අනුව සභාපති ශම්මි සිල්වා ප්‍රමුඛ වත්මන් ක්‍රිකට් විධායක කමිටුවේ නිල කාලය මෙම වසරේ පෙබරවාරි 20 වැනිදායින් අවසන් වනවා. එය පෙන්වා දෙමින් කෝල්ස් ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ සභාපති නිශාන්ත රණතුංග ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට ලිඛිත පැමිණිල්ලක් සිදු කළා. එමගින් පෙන්වා දුන්නේ ක්‍රිකට් නිලවරණය තෙක් අතුරු කමිටුවක් හෝ නිසි බලධාරියෙක් පත් කරන ලෙසයි. එසේ නොවුනහොත් වත්මන් ක්‍රිකට් පරිපාලනය ක්‍රිකට් ආයතනය තඹ සතේට හූරන් යනු ඇති බවත් පෙන්වා දුන්නා. මෙම ලිපිය අප ඇතුලු මාධ්‍ය වාර්තා කිරීමත් සමග ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වාත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙත සිය නිර්දෝෂීභාවය පෙන්වීමට අසත්‍ය කරුණු රැසක් ඉදිරිපත් කළා. එහෙත් ඒ වන විට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ තමන්ට නිශාන්ත රණතුංග යොමුකළ ලිපිය නීතිපතිවරයා වෙත යොමුකර අවසන්. පහත දැක්වෙන්නේ අපගේ එම පෙර ලිපියේ සබැඳියාවයි.

    ක්‍රිකට් බලධාරීන් නිලවරණය වෙනුවෙන් අමු අමුවේ නීති උල්ලංඝනය කරයි - Exclusive Exposed


    මේ අතර ක්‍රිකට් ආයතන වත්මන් නිලධාරීන් සියල්ලම ඉදිරි නිලවරණය වෙනුවෙන් ක්‍රිකට් ආයතන මුදල් ක්‍රීඩා සමාජ වෙත ලබා දෙමින් ඡන්ද ගොඩ වැඩි කිරීමේ මෙහෙයුමක නිරතව සිටිනවා. ඒ අතර නීතියේ පිහිට පතමින් ප්‍රතිවාදී අපේක්ෂක කේ. මතිවානන් හා නිශාන්ත රණතුංග වෙනම ගමනක නිරතව සිටිනවා. ඔවුන් මේ වන විට උප සභාපති අපේක්ෂක සමන්ත දොඩන්වලගේට හැර අනෙක් සියලුම අපේක්ෂකයන්ට විරෝධතා ගොනුකර තිබෙනවා. එහි ප්‍රධාන විරෝධය වන්නේ නියමිත දිනට වාර්ශික ගිණුම් විගණකාධිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර නොතිබීමයි. අප පෙර සදහන් කළ ලෙසම වත්මන් ක්‍රිකට් විධායක කමිටුවට බලය ඇත්තේ මෙම වසරේ පෙබරවාරි 20 වැනිදා දක්වා පමණයි. එහෙත් පසුගිය වසරේ ගිණුම් සම්මත කිරීමේ ක්‍රිකට් විශේෂ විධායක කමිටු රැස්වීම පවත්වා ඇත්තේ පසුගිය පෙබරවාරි 24 වැනිදායි. එය විගණකාධිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත්තේ පෙබරවාරි 25 වැනිදායි. මේ වන විට නීතිපතිවරයා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට දැනුම් දී ඇත්තේ වත්මන් ක්‍රිකට් විධායක කමිටු නිල කාලය පෙබරවාරි මාස 20 වැනිදායින් අවසන් වන බවයි.


    ක්‍රිකට් නිලවරණ අල්ලස් ලෙස රුපියල් මිලියන 338.5 ක් ක්‍රීඩා සමාජ අතර බෙදලා


    එලෙස නීතිපති මතයට අනුව නියමිත දිනට පෙර ක්‍රිකට් ආයතන ගිණුම් ඉදිරිපත් කිරීමට වත්මන් ක්‍රිකට් විධායක කමිටුව අපොහොසත් වී තිබෙනවා. ක්‍රීඩා පනතට අනුව එවන් ක්‍රීඩා සංගම් නිලධාරීන්ට කිසිදු ක්‍රීඩා සංගමයක කිසිදු තනතුරක් දැරීමට හැකි වන්නේ නැහැ. මේ අනුව වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සියලු විධායක කමිටු ප්‍රධාන තනතුරු දරණ සියල්ලන් ඉදිරි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයට පමණක් නොව සියලු ක්‍රීඩා සංගම් තනතුරු දැරීමට සදාකල් නුසුදුස්සන් වනවා. මේ පිලිබද ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ අභියාචනා කමිටුව ලබන 20 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වන බව Lankasportsnews අප වෙත වාර්තා වනවා. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට පෙර එහි ව්‍යවස්ථාව වෙනස් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් පසුගියදා ගොනු කළා. ඒ හිටපු ක්‍රිකට් අතුරු කමිටු සාමාජිකයින් හා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුලු සිවිල් ක්‍රියාකාරීන් 12 දෙනෙකුයි. එහෙත් ඔවුන් මෙම රීට් පෙත්සම නිසි ලෙස ගොනුකර නොතිබීම හේතුවෙන් එය විභාගයට ගැනීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය නිමාවූ පසුයි.


    මුරලිට දිව දෙකක් - ක්‍රිකට් මාධ්‍ය ඒකකය කියයි - Exclusive Exposed


    කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වත්මන් විධායක කමිටුව මුදල් අවභාවිත කිරීමට අධාල ලියවිලි රැසක් ආයතන පරිශ්‍රයෙන් පිට කිරීමට පියවර ගත් බව lankasportsnews අප වෙත වාර්තා වනවා. එහි ඉතිරි ලිපිගොනු අද දිනයේදී ක්‍රිකට් ආයතනයෙන් ඉවත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ක්‍රිකට් ආයතන මුදල් රුපියල් මිලියන 700 කට අධික ප්‍රමාණයක තොරතුරු මෙලෙස අස්ථානගත කිරීමට නියමිත බව සදහන්. මෙලෙසම ක්‍රිකට් ලෝක කුසලාන සත්කාරකත්වය ලබා දීමට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මෙහෙයුම් කාර්යයාලයේ පරිගණක දෘඪාංගය ඇතුලු සියලු තොරතුරු අස්ථානගත වුණා ඔබට මතක ඇති. වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන ආරක්ෂක අංශ නිලධාරියා එහි මානව සම්පත් කළමනාකරු ටනේෂ් ඩයස් සේවයට බදවාගත් හිතවතෙක් බව වාර්තා වනවා. මේ අනුව පහසුවෙන් මූල්‍ය අක්‍රමිකතා තොරතුරු රැසක් අස්ථානගත වීමට නියමිතයි.


    ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට මතක් කිරීමට ඇත්තේ මෙම අතුරුදන් වීමට නියමිතව ඇත්තේ ක්‍රිකට් සංවර්ධනය වෙනුවෙන් තිබූ මුදල් කාබාසිනියා කළ තොරතුරු බවයි. ඉතින් වෙන්න කලින් කී මෙම තොරතුරු අනුව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කටයුතු කරන තුරු Lankasportsnews අප සමග රටම බලා සිටින බව මතක් කළ යුතුයි. මේ අතර ක්‍රිකට් ආයතනයට කෙටි කාලීන අතුරු කමිටුවක් ලෙස, පසුගියදා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පත් කළ අරවින්ද ද සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් තාක්ෂණ කමිටුව නම් කිරීමට යෝජනා වී තිබෙනවා. තව පිරිසක් කියා ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා නිසි බලධාරියා ලෙස පත් කර ඔහුගේ සහයට අරවින්ද ද සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් තාක්ෂණ කමිටුව පත් කරන ලෙසයි. මේ කුමක් පත් වුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පවත්වන ලබන මැයි 20 වැනිදා දක්වා පමණක් ක්‍රියාත්මක කිරීම තීරණය කර තිබෙනවා.  මේ අතර ක්‍රිකට් අනාගතය ගොඩනැංවීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ගන්නා උත්සාහය දෙස ක්‍රිකට් ලෝලීන් පමණක් නොව රටම බලා සිටිනවා. ඉතින් වැටෙන ෆුල්ටොස් හොදින් හදුනා ගනිමින් වැඩි ලකුණු සංඛ්‍යාවක් දේශපාලනිකව රැස් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා සමත් වුවහොත් රටේ සියල්ලන්ගේ පැසසුමට ලක්වීම වැලැක්වීමට කිසිදු ජගතෙක්ට නොහැකිවනු ඇති. එය රටේම ගෞරවය හා ආදරය දිනා ගැනීමට පහසුම මග බවත් අවසන් ලෙස සිහිපත් කළ යුතුයි.










    No comments