ධනුෂ්ක හා පැතුම්ගේ ඉනිමට වටිනාකමක් එක් කළ වනිදු ශ්‍රී ලංකාවට ජය ගෙනේ
සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමග පැවති දෙවන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 43 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. මෙම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම පිවිසියේ එක් වෙනස් කමක් සමගයි. තණතීරුව දඟ පන්දු යවන්නන්ට වැඩි වාසි ලබාදීම හේතුවෙන් නුවන් ප්‍රදීප් වෙනුවට ලක්ෂාන් සඳකැන් කැඳවා තිබුණා.
තරගයේ කාසියේ වාසිය දිනා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. මේ අනුව කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය ලෙස පිටියට පිවිසියේ ධනුෂ්ක ගුණතිලක හා පැතුම් නිශ්ෂංකයි. පැතුම් ක්‍රීඩාකළ දෙවන පන්දුවාර විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගය මෙයයි.
ලබාදුන් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් ආරම්භක පිතිකරු යුගලය තරගය සියතට ගෙන රිසි සේ පිටිය පුරා පහරවල් එල්ල කළා. මේ අනුව පන්දුවාර 10 යි පන්දු දෙකක් අවසන් වන විට මුළු ලකුණු පුවරුව ලකුණු 95 ක් ලෙස සටහන්ව තිබියදී ලකුණු 37 ක් ලබා සිටි පැතුම් නිශ්ෂංක දුවද්දී දැවී දැවී ගියා. අනෙක් අන්තයේ රැදී සිටි ධනුෂ්ක ගුණතිලක එම පන්දු වාරයේදීම දැවී ගියේ ලකුණු 56 ක් ඉනිමට එක් කිරීමෙන් අනතුරුවයි. ඔවුන් දෙදෙනා තරග නරඹන්නන් වූ විගස පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් ලකුණු 03 කට හා නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 13 කට දැවී ගියා. ඒ වන විට මුළු ලකුණු පුවරුව සටහන් වුණේ කඩුලු 04 ක් දැවී ලකුණු 119 ක් ලෙසයි. අනතුරුව තිසර පෙරේරා ලකුණු 02 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වුණා. එලෙස කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිමට ජීවයක් එක් කිරීමට අශේන් බණ්ඩාර සමගින් එක්වූ වනිදු හසරංග සමත් වුණා. අශේන් ලකුණු 21 ක් හා වනිදු නොදැවී ලකුණු 19 ක් ලබා ගත්තා. මේ අනුව පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 160 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.
පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන්ට රිසිසේ ලකුණු ලබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. අවස්ථා දෙකක පන්දු මාරු කිරීමට සිදුවන හයේ පහර එල්ල වුණත් පීඩනය පිතිකරුවන් වෙත එලෙසම එල්ල වුණා. ඒ ආක්‍රමණශීලී පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් කඩුලු දඩයමක නිරතව සිටීම හේතුවෙනුයි. මේ අනුව පන්දුවාර 18 යි පන්දු 4 ක් අවසානයේ සියල්ලන් දැවී කොදෙව්වන්ට රැස් කිරීමට හැකිවූනේ ලකුණු 117 ක් පමණයි. දුෂ්මන්ත චමීර කඩුලු දෙකක් දවා ගනිද්දී ලක්ෂාන් සඳකැන් කඩුලු තුනක් ඩැහැ ගත්තා. අකිල ධනංජය හා ධනුෂ්ක ගුණතිලක එක් කඩුල්ල බැගින් දවා ගත්තා. පිත්තෙන් වේගවත් ලකුණු ලබා ගැනීමක නිරත වූ වනිදු හසරංග කඩුලු තුනක් දවා ගැනීම හේතුවෙන් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.
ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයග්‍රහණය සමග තරග එකට එකක් ලෙස කණ්ඩායම දෙකම ජයගෙන තිබෙනවා. මේ අනුව හෙට (07) පැවැත්වීමට නියමිත තුන්වන හා අවසන් තරගය තරගාවලියේ ජයග්‍රහණය තීරණය කරනවා.
No comments