ක්‍රිකට් බලධාරීන් නිලවරණය වෙනුවෙන් අමු අමුවේ නීති උල්ලංඝනය කරයි - Exclusive Exposed
අන්ධයාගේ බූදලයක් කරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මුදල් මේ දිනවල හරි හරියට ගොඩ දැමීම සිදුවනවා. ඒ ක්‍රිකට් ව්‍යවස්ථාව මෙන්ම ක්‍රීඩා නීතියත් අමු අමුවේ උල්ලංඝනය කරමිනුයි. මෙලෙස ඔවුන් රැස් කරන්නේ ප්‍රකාශයට පත්කර ඇති ක්‍රිකට් නිලවරණයේ ඡන්ද බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඡන්ද ගොඩ වැඩි කර ගැනීම වෙනුවෙන් පසුගියදා නුවරඑළිය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පැවැත්වුණා. රදැල්ල ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති මෙම තරගාවලියෙන් බිද වැටුණු ක්‍රිකට් නීති පිලිබද කතාව මෙතැන් සිට දිග හැරෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය සදහා නාම යෝජනා භාර ගැනීම පසුගිය පෙබරවාරි 24 වැනිදා අවසන් වුණා. මේ වන විට ගත වන්නේ එම නාම යෝජනා සදහා විරෝධතා භාර ගන්නා කාලයයි. එය අද දිනයෙන් (2021/03/12) අවසන් වනවා. මේ අනුව විරෝධතා පිලිබද තීරණ ලබන 15 වැනිදා (2021/03/15) ප්‍රකාශ කිරීමට නියමිතයි. ක්‍රිකට් ආයතන නිලවරණය පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ මැයි මස 20 වැනිදායි. මේ අතර ඊට ඉදිරිපත් වී ඇති එක් පාර්ශ්‍රවයක් වන නිශාන්ත රණතුංග වත්මන් ක්‍රිකට් පාලනාධිකාරියට විරෝධය පළ කරමින් ලිඛිත පැමිණිල්ලක් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට ගොනුකර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පවත්වන තුරු අතුරු කමිටුවක් පත් කරන ලෙස ඉල්ලමිනුයි. එහිදී පෙන්වා දී ඇත්තේ වත්මන් පාලනාධිකාරිය අයුතු ලෙස ක්‍රිකට් ආයතන මුදල් හා වරප්‍රසාද භාවිතා කර ඡන්ද ගොඩ වැඩි කර ගැනීම එමගින් වලක්වා ගත හැකි බවයි.
කෙසේ වෙතත් ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ප්‍රමුඛ වත්මන් විධායක කමිටු නිලධාරීන් ක්‍රිකට් ආයතන මුදල් භාවිතා කරමින් ගොඩ වැඩිකර ගැනීමේ සූක්ෂමව නිරත වනවා. ඊට හොදම උදාහරණයක් වන්නේ පසුගියදා නුවරඑළියේ පැවති නුවරඑළිය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට මෙවර නිලවරණයට ඉදිරිපත් වී ඇති අති බහුතරයක් ගොස් සිටීමයි. පසුගිය කාලයේ නුවරඑළියේ ක්‍රිකට් දිනෙන් දින වල පල්ලට යවා තිබුණා. එහෙත් මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති වන්නේ අමාත්‍ය සී.බී රත්නායකයි. එහි ලේකම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රවාහන කළමණාකරු ජගත් ජයසුන්දර කටයුතු කරනවා. කලකට පසු සංවිධානය කළ මෙම නුවරඑළිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් පෙන්වීමට උත්සාහ කළේ එම පළාතේ ක්‍රිකට් පණ ගසමින් තවමත් ඇති බවයි. මස්කෙළිය සන් රයිසස් කණ්ඩායම පරාජය කරමින් ශූරතාවය දිනූ කොත්මලේ කිංග්ස් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදලින් රුපියල් එක් ලක්ෂ පනස්දහසක් (150,000) ක් ලබා දුන්නා.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද ලබා ගැනීම සදහා මේ වන විට ක්‍රිකට් ක්‍රීඩා සමාජ අතරත් අප්‍රසාදයට පත්ව සිටින උප සභාපතිවරුන් වන රවීන් වික්‍රමරත්න, ජයන්ත ධර්මදාස, ලේකම් මොහාන් ද සිල්වා හා භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ එක්ව සිටියා. ඔවුන් සියළුදෙනා මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ එම තනතුරු සදහාම ඉදිරිපත් වී සිටිනවා. එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලේකම් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රවාහන කළමණාකරු ජගත් ජයසුන්දර කටයුතු කිරීම ක්‍රිකට් ආයතන නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් වනවා. ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව එහි වැටුප් ලබන සේවකයින්ට ක්‍රිකට් ක්‍රීඩා සමාජ හෝ දිස්ත්‍රික් මෙන්ම පළාත් ක්‍රිකට් සංගම් තනතුරු දැරීමට හැකියාවක් නැහැ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සම්පත් එම ක්‍රීඩා සමාජ සදහා භාවිතාවීම වැලැක්වීම සදහායි. එමගින් අනෙකුත් ක්‍රීඩා සමාජ වලට වරප්‍රසාද බෙදී යාම අසමතුලිත නොවීම අරමුණ වනවා.
කෙසේ වෙතත් මෙම නුවරඑළිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ප්‍රවාහන පහසුකම් සැපයීම හා ඊට ඉන්ධන භාවිතා කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඒවායි. පුද්ගලන් ප්‍රවාහනයට හා තරගාවලිය පැවති දිනය පුරා සියළු ප්‍රවාහන කටයුතු මෙලෙස සිදුව තිබෙනවා. මේ අතර මෙම තරගාවලියට මාධ්‍ය ආවරණය ලබා දීමට කියා හිටපු සභාපති තිලංග සුමතිපාලගේ අනුහසින් ක්‍රිකට් මාධ්‍ය ඒකකයට රිංගා ගත් ඇම්බැට්ටයින් දෙන්නාද එක්වුණා. ඒ ක්‍රිකට් ආයතනයේ KDH වෑන් රථයෙනුයි. එම එක් අයෙක් නුවරඑළියේ යාමට එම වෑන් රථය මතුගම සිය නිවසටම ගෙන්වාගෙන තිබුණා. එමෙන්ම මෙම තරගාවලියට එක්වූ සියලු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන්ට දෛනික දීමනාව (Per diem) ක්‍රිකට් ආයතනය ගෙවා තිබෙනවා.
හිටපු ක්‍රිකට් ලේකම් නිශාන්ත රණතුංග ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂව දැනුවත් කර තිබුණේ මෙවන් අක්‍රමිකතා වැලැක්වීමට පියවර ගන්නා ලෙසයි. එම ලිඛිත පැමිණිල්ල මේ වන විට නීතිපතිට යොමුකර ඇතැයි Lankasportsnews අපට වාර්තා වනවා. කෙසේ වෙතත් ක්‍රිකට් ආයතන ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය වීම ගැනවත් ක්‍රියා කිරීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කටයුතු කරනු ඇතැයි Lankasportsnews අප බලා සිටින්නේ මෙරට ක්‍රිකට් ලෝලීන් සමගයි. එමෙන්ම තව කොපමණ කාලයක් ක්‍රිකට් ආයතන නිලධාරීන්ට මෙලෙස මුදල් කාබාසිනියා කරමින් කටයුතු කිරීමට අමාත්‍යවරයා ඉඩ දේවිද ? ක්‍රිකට් ආයතනය බංකොලොත් වීමට පෙර ක්‍රියාත්මක වේවිද කියා Lankasportsnews අප අවධියෙන් සිටිනවා.
No comments