Wednesday, March 24, 2021

රසල්ගේ පින් පඩියෙන් කොමිස් මුදල් ගියේ කාටද ? Exclusive Exposed


ලැව් ගින්නකට පලාතක් වැනසිය හැකි අතර හිරිපොද වැස්සකට උවත් එහි පරිමාව අඩුකළ හැකි බව අමතක නොකළ යුතුයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මහා පරිමාණ වංචා හා දූෂණ අනාවරණය කරන එකම දේශීය මාධ්‍ය ලෙස Lankasportsnews අප සිදු කරන්නෙත් එවැන්නක්. චිලීන් විත් රසල්ගේ රුපියල් ලක්ෂ 72 කක පින් පඩි ගැනීම ගැන ඊයේ තැබූ සටහනට පසු විශ්වාසනීය තොරතුරු මූලාශ්‍රයක් එහි අභ්‍යන්තර තොරතුරු රැසක් Lankasportsnews අප වෙත කියා සිටියා. මෙවන් පින් පඩ් ගෙවීම් රැසක් පසුගිය කාලයේ සිදුව ඇති බවත් ඊට හේතුවී ඇත්තේ කොමිස් ගණුදෙනු ඒ වටා සිදුවීම බවයි ඉන් කියවුණේ. එලෙස Lankasportsnews අපට වාර්තා වූ නවතම කොමිස් ගණුදෙනුවල තොරතුරු මෙලෙස දිග හැරෙනවා.


ලංකා ප්‍රිමියර් ලීග් LPL ක්‍රිකට් තරගාවලිය පවත්වන බව කියා 2018 වසරේදී මාස හතරක්, මාසිකව ඇමරිකා ඩොලර් 10,000 බැගින් හිටපු ක්‍රිකට් ක්‍රීඩක වත්මන් විස්තර විචාරක රසල් ආනල්ඩ්ට ගෙවා තිබෙනවා. ඒ, එවර තරගාවලියේ අධ්‍යක්ෂ ලෙස පත්වීම ප්‍රධානය කරයි. එහෙත් එම කාලයේ ඊට කිසිදු සේවයක් ඔහු සිදුකර තිබුණේ නැහැ. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පින් පඩියක් ලෙස රුපියල් ලක්ෂ 72 ක් රසල් ආනල්ඩ්ට ගෙවා තිබෙනවා. මේ පිලිබද ඉදිරි කෝප් කමිටුවේදී ප්‍රශ්න කිරීමට සූදානම් වන බව Lankasportsnews අප අනාවරණය කළා. එම ලිපිය බලපු නැති අය වෙනුවෙන් පහත දැක්වෙන්නේ එම සබැඳියයි.


ක්‍රිකට් ආයතනය චිලීන් විත් රසල්ට, රුපියල් ලක්ෂ 72 ක පින් පඩි ගෙවීම ගැන පරීක්ෂණයක්


කෙසේ වෙතත් එම රුපියල් ලක්ෂ 72 ක අතරින් හරි අඩක් එනම් පළමු මාස දෙකක් සදහා මුදල් පමණයි ඔහු පළමුව ලබාගෙන ඇත්තේ. අනෙක් මාස දෙකේ මුදල් රසල් ආනල්ඩ් සතු විදෙස් ගිණුමක තැන්පත් කර තිබෙනවා. එම මාස දෙකට අදාල රුපියල් ලක්ෂ 36 ක මුදල යලි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උසස් නිලධාරියෙක්ගේ ගිණුමකට බැරවී ඇතැයි වාර්තා වනවා. එය මෙම ගිවිසුමේ අභ්‍යන්තර රහසිගත එකඟතාවකට අනුව සිදුව ඇතැයි සදහන්. මෙලෙස එක් එක් අයට ඉහළ මාසික වැටුපක් සමගින් රැකියා ලබා දීමේදී, කලක සිට මෙම අත යට කොමිස් මුදල් ගණුදෙනුව සිදුවන බව Lankasportsnews අප වෙත වාර්තා වනවා. මීට පෙර විශාල වැටුප් සදහා රැකියා ලබා දුන් සයිමන් විල්ස්, චන්දික හතුරුසිංහ මෙන්ම නොබෝදා පත්වීම් ලැබූ ටොම් මූඩිගේ ගිවිසුම් පිටුපසද මෙම කොමිස් මුදල් ලබා ගැනීමේ ව්‍යාපාරය ක්‍රියාත්මක වී තිබෙනවා. එමෙන්ම මේ දක්වා ශ්‍රී ලංකාවේ ජාතික මාධ්‍ය ලෙස හඳුන්වන කිසිවකින් රසල් ආනල්ඩ්ට පින් පඩි ගෙවීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් හෝ ඔහුගෙන් විමසා නැතිවීමත් විශේෂත්වයක්.


මේ අතර පසුගියදා චරිත හේරත්ගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුවේදී චන්දික හතුරුසිංහ ඉවත් කිරීම වෙනුවෙන් නඩු ගාස්තු ලෙස රුපියල් කෝටි 2ක මුදලක් මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වියදම් කර ඇතැයි අනාවරණය වුණා. එම නඩුව චන්දික හතුරුසිංහ ගොනුකර ඇත්තේ සුවිට්සර්ලන්තයේ පිහිටා ඇති ජාත්‍යන්තර ක්‍රීඩා බේරුම්කාරක අධිකරණයේයි. ඉන් රුපියල් කෝටියකට අධික මුදලක් වැයකර ඇත්තේ නීතීඥ ගාස්තු වෙනුවෙන් බව කියවුණා. එහෙත් එම කිසිදු වියදමක් සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිසි ලෙස රිසිට් පතක් ලබාගෙන නැතිවීමත් කැපී පෙනෙනවා. මේ වෙනුවෙන් ඇත්තේ නීතීඥ ගාස්තු ලෙස දැක්වූ අති විශාල මුදල ගැන සටහනක් පමණයි. දැන් සත්‍ය ලෙසම නීතීඥයින් එම මුදල් ලබාගෙන ඇත්දැයි ඔබට සැකයක් මතුවීම අතිශ්‍ය සාධාරණයි. කෙසේ වෙතත් මෙම මූල්‍ය අක්‍රමිකතා ගැන සොයා බැලීම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රතික්ෂේප කළා. කෝප් කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම පමණක් තමන් සිදු කරන බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ. ඉන් ගම්‍ය වූයේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් දක්වන බය පක්ෂපාතීත්වයයි. උබල ඇති තරම් හොරා කාපල්ල මට කමක් නෑ කීමට සමාන එම උත්තරදීම මේ වන විට ක්‍රීඩා ක්ෂේත්‍රය කැළඹීමට ලක්කර තිබෙනවා. අමාත්‍යවරයා මෙලෙස කියා සිටියේ වත්මන් ක්‍රිකට් දූෂණ තුලින් කොමිස් කුට්ටියක් ඔහුගේ සාක්කුවටත් වැටෙන නිසා දැයි සැක බව මෙම මාධ්‍ය හමුවට පසු කටකාර මාධ්‍යවේදීන් කිහිප දෙනෙක්ම කියනු අපට අහන්න ලැබුණා. ඉන් කියවෙන්නේ ක්‍රිකට් ගැන ඇති, අති සංවේදී බවයි. ඉතින් ක්‍රිකට් ආයතන දූෂණ සදහා වැට බැඳ යලි ක්‍රිකට් ජයග්‍රාහී මාවතට එන තුරු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට රාති‍්‍රයේ සැනසිල්ලේ ඉන්න යනවානම් එය පුදුමයක්‍ ය.



No comments:

Post a Comment