අතුරු කමිටු බාලගිරි අස්සේ ගබඩා හිස්වේ - ලිපිගොනු අතුරුදන්වේ - Exclusive Exposed
දැක්කොත් බුවා. නොදැක්කොත් එබුවා. යන කියමන හරියටම ක්‍රියාත්මක වන තැනක් විදිහට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හැඳින්වීමට හැකියි. ක්‍රිකට් ආයතන වංචා හා දූෂණ රැසක් විශේෂ විගණන වාර්තාවකින් අනාවරණය වුණා. එහි කරුණු මේ වන විටත් කෝප් කමිටුවේදී ප්‍රශ්න කෙරෙනවා. එහෙත් ඒ කිසිවකට නිසි ලෙස පිලිතුරු දීමට මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන්ට හැකිවූයේ නැහැ. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් හෝ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් යටතේ නිසි බලධාරියෙක් සමග කමිටුවක් පත් කිරීමට නීතිපතිවරයා නිර්දේශ කළා. එහෙත් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මෙතෙක් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සමත්ව නැහැ. එහි උපරිම ප්‍රයෝජන ගනිමින් දූෂණ හා අක්‍රමිකතා රැසක ලිපිගොනු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අතුරුදන් වීම ආරම්භ වී තිබෙනවා. එමෙන්ම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ ගබඩා සියල්ලත් කඩි මුඩියේ හිස් වෙමින් යනවා. එහි තොරතුරු මෙතැන් සිට දිග හැරෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් හෝ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ප්‍රමුඛ කමිටුවක් පත් කරන ලෙස පසුගිය සතියේ නීතිපතිවරයා නිර්දේශ කළා. ඒ වත්මන් ක්‍රිකට් විධායක කමිටු නිල කාලය අවසන් බව තහවුරු කරමිනුයි. කෝල්ස් ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ සභාපති නිශාන්ත රණතුංග ලිපියක් මගින් එය ක්‍රීඩා අමාත්‍යාංශයට පසුගිය පෙබරවාරි මාසයේ 21 වැනිදා ලිඛිතව සිදුකළ පැමිණිල්ලට අනුවයි මෙම නීති කෘත්‍ය ආරම්භ වුණේ. මෙම නීතිපතිවරයාගේ නිර්දේශ අනුව වත්මන් ක්‍රිකට් පරිපාලනය ඉවත් කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් ප්‍රකාශ කළා. එය පසුගිය සිකුරාදා දිනය පෝය දිනයක් යෙදී තිබීම හේතුවෙන් මෙම සතියේ සදුදා හෝ අගහරුවාදා සිදු කරන බවටයි ඔහු ඉගි කළේ. එහෙත් එම ප්‍රකාශය සමගින් කලබල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලොකු පුටු පෝලිමේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් හමුවට හා දුරකථනයෙන් ඇමතීමට කටයුතු කළා. එක් ප්‍රධාන නිලධාරීයෙක් බැන තර්ජනය කර තිබුණේ නීතිපති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ඉක්මන් උවහොත් තම දේශපාලන බලය යොදවා අමාත්‍යාංශයේ ලේකම්ට පුටුව අහිමි කරන බවයි. එම ගර්ජනාවට ලේකම්ගේ පමණක් නොව අමාත්‍යවරයාටත් සුළුදිය පහවීම හේතුවෙන් මෙතෙක් නිර්දේශ ක්‍රියාත්මක කිරීම පමා වෙමින් තිබෙනවා. රටේ ජනාධිපති බාප්පා වීමටත්, අග්‍රාමාත්‍ය තාත්තා වීමටත් වඩා බලවත්ව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, බය කිරීමට ක්‍රිකට් ආයතන මුල් පුටු සමත්වීම කැපී පෙනෙනවා. වරක් ලංකාවේ දූෂිතම ආයතන අතර ඉදිරියෙන්ම ක්‍රිකට් ආයතනය සිටින බව කී එවක ක්‍රීඩා අමාත්‍ය සී බී රත්නායකට හැරෙන තැපෑලෙන් අමාත්‍යධූරය අහිමි වුණා ඔබට මතක ඇති.
ක්‍රිකට් බලධාරීන් නිලවරණය වෙනුවෙන් අමු අමුවේ නීති උල්ලංඝනය කරයි - Exclusive Exposed
මේ අතර ක්‍රිකට් ආයතනය සතු වැදගත් ලිපිගොනු අතුරුදන් වීම ආරම්භ වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරක්ෂක අංශ ප්‍රධානියා එහි මානව හිමිකම් කළමණාකරු ටනේෂ් ඩයස් බදවාගත් හිතවතෙක් බව Lankasportsnews අප මීට පෙරත් අනාවරණය කළා. එහිදී අප පෙන්වා දුන්නේ ඒ අනුහසින් ක්‍රිකට් ආයතන ලිපිගොනු සදුදා සිට අතුරුදන් කිරීමට සැලසුම් කර ඇති බවයි. අප අනාවරණය තහවුරු කරමින් එය මේ වන විට ඉතා සූක්ෂම ලෙස සිදුවෙමින් තිබෙනවා. මෙලෙසම ශ්‍රී ලංකාව අවසන් වරට ක්‍රිකට් ලෝක කුසලාන සත්කාරකත්වය දැක්වූ පසු එහි කටයුතු අධීක්ෂණය කළ මෙහෙයුම් කාර්යාලයේ ලිපිගොනු අතුරුදන් වුණේ පරිගණක දෘඪාංගත් ඇතුලුවයි. එමෙන්ම මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ගබඩා සියල්ලම හිස්වීමත් ආරම්භ වී තිබෙනවා. ක්‍රීඩා පිටි සදහා යොදන ලණු පැදුරු ඉවත් කරමින් ඇත්තේ හිතවතුන්ට ලබා දීම සදහායි. ඒ යටතේ අම්පාර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයටත් ලණු පැදුරක් ලබා දීම තිරණය කර ඇතැයි lankasportsnews අප වෙත වාර්තා වනවා. ඊට හේතු වී ඇත්තේ අම්පාර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම් හා සභාපති රුපියල් මිලියන 20 ක් අවභාවිත කර හසුවීම බව සදහන්. මේ අනුව හොදම පොඩි හොරකමට හිමි සම්මානය මෙවර හොර නායකයා වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් දිනාගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයයි. එහි දූෂණ හා අක්‍රමිකතා ගැන වෙනම සවිස්තරාත්මක ලිපියක් Lankasportsnews අප ඉදිරියේදී අනාවරණය කිරීමට තීරණය කර තිබෙනවා. එවිට යකඩ මල්ලට හෙන ගැහුව නම් පන් මල්ල ගැන කවර කතාද කියා ඔබට සිතෙන්න පුලුවන්.
ක්‍රිකට් ශම්මිව පන්නා නිශාන්ත බලය අල්ලයි ?
කෙසේ වෙතත් මේ වන විට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ගිරේට හසුවී ඇතැයිද ඇතමුන් පවසනවා. එක පැත්තකින් යහපාලන රජය සමයේ රාජපක්ෂවරුන්ගේ ක්‍රීඩා නාලිකාවට සිරබත් කෑ නිශාන්ත රණතුංග වනවා. අනෙක් පැත්තෙන් රග්බි ක්‍රීඩා කරන විට සිය ක්‍රීඩා සමාජයේ සියල්ල පාලනය කිරීමට ඉඩ දී මේ වන විට කොමිස් කුට්ටි නෑදෑ හිතවතුන්ට යහමින් ලබා දෙමින් කල්ල මරේ චරිතයට පණ පොවන ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සිටිනවා. කුමන පැත්ත ගත්තත් පැටිකිරීය දිග හැරීමට ඇති ඉඩ හේතුවෙන් පසුගිය කාලයේ කමිටු පිට කමිටු දමා කමිටු අච්චාරුවක් නිර්මාණය කිරීමට එය හේතු වන්නට ඇති. එවිට මේ මම නෙමෙයි කමිටුවේ වැඩක් කීමට අමාත්‍යවරයාට හැකි වනවා. එහෙත් එම සාමයයි නීතිපතිවරයා බිද ඇත්තේ. දැන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ දෙලොවක් අතර අතරමංව මං මුලා වී ඇති ආකාරයක් දක්නට ලැබෙන්නේ මේ නිසා විය හැකියි. කෙසේ වෙතත් මෙහෙම තව කිහිප දිනක් ගියහොත් හොරු කියා එකෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිටියේ නැහැ ඒ ඔබේ හෙලවෙන මනස කියා කීමට බුකියේ ඔබට ඉඩ ලැබෙන බව නම් නිසැකයි. මන්දයත් මේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ උගසට තබා ඇත්තේ තම දේශපාලන අනාගතයම වීම හේතුවෙනුයි.
No comments