Saturday, March 6, 2021

දසුන් ශානක කොදෙව් යාම පමා කළේ ජෝජ් ස්ටුවර්ට් චන්නද ? Exclusive Exposed


ලැජ්ජා නැති කම මහ මුදලිකමටත් වඩා ලොකුයි කියන කියමන යෙදිය හැකි අය සේවය කරන තැනක් කවුරුන් හෝ ඔබෙන් ඇහුවොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වන්න. ක්‍රිකට් ආයතනය වැඩක් කළොත් හත් පොලේ ගා ගැනීම නිතර සිදුවනවා. මෙවර ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇදුමෙන් ලෝකය හිනස්සවා තිබෙනවා. ඒ එක තරගයකදී කණ්ඩායම තුල නිල ඇදුම් වර්ග දෙකක් භාවිත කිරීමට ලබා දෙමිනුයි. මේ පිලිබද ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ දැනුවත් කිරීම හොරාගේ අම්මගෙන් පේන ඇසීමක් වනවා. තරගයක් ක්‍රීඩා කිරීමෙන්ද පසු කණ්ඩායමේ නිල ඇඳුම එලිදක්වා ඇදගෙන නාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කතාවයි මේ.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යනු මාසිකව රුපියල් ලක්ෂය ඉක්මවා වැටුප් ගන්නා සේවකයින් 50 කට වඩා සේවය කරන ආයතයක් වනවා. එහි රුපියල් ලක්ෂ 15 කට වඩා මාසිකව වැටුප් ගන්නා ජෙරම් ජයරත්න මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කරනවා. ඒ මෙම පත්වීමටත් අතිරේක දීමනාවක් සමගිනුයි. ඔවුන් මෙලෙස ඉහළම වැටුප් ලැබුවත් කිසිදු වෘත්තීයභාවයක් නැති බව කලක සිටම ප්‍රදර්ශනය කරනවා. ඊට හොදම උදාහරණය ඇදුම් සදහා නිල අනුග්‍රාහකත්වය ලබා දීමට ඉදිරිපත් වී සිටින ජැට් හෝල්ඩින්ග්ස් නාමය යටතේ පිටියට පිවිසෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමයි. ඔවුන් නිල අනුග්‍රාහකත්වය ලබා දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ පසුගිය හතර (2021/03/04) වනදායි. ඒ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමගින් පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස තරගයෙන් (2021/03/03) පසුවයි. එහෙත් ඔවුන් නිල අනුග්‍රාහකත්වය ලබා දුන් බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරන විටත් මෙම තරගයට කණ්ඩායම ක්‍රීඩා කළේ එම අනුග්‍රාහකත්වය දැක්වෙන ඇඳුමෙනුයි. එහෙත් කණ්ඩායම එලෙස ක්‍රීඩා කළේ වර්ග දෙකක ඇඳුම් ඇදගත් ක්‍රීඩකයින් වීම සියල්ලන් මවිත කළා. එහි ඡායාරූපයි මේ.



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ගිවිසුමට අනුව කණ්ඩායම විදෙස් ජාත්‍යන්තර ක්‍රිකට් තරග සදහා එක්වන්නේ ජැට් හෝල්ඩින්ග්ස් නාමය යටතේයි. එහෙත් දේශීය තරග සදහා ඔවුන් එක් වන්නේ ඩයලොග් අනුග්‍රාහකත්වය සමගයි. මෙම අනුග්‍රාහකත්වය වෙනුවෙන් එම සමාගම් ක්‍රිකට් ආයතනයට ගෙවීම් සිදු කරනවා. එමෙන්ම කණ්ඩායමේ නිල ඇදුම් සැපසීම භාරව සිටින්නේ කණ්ඩායමේ කළමණාකරු ජෙරම් ජයරත්නයි.




මේ අතර ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස පසුගියදා දසුන් ශානකව නම් කළා. එහෙත් ගුවන් ගමන් බලපත්‍රය අස්තානගතවීම හේතුවෙන් මතුවූ වීසා ලබා ගැනීමේ ගැටළුවක් මත දසුන්ට එය අහිමි වුණා. ඊට සෘජු වගකීම කණ්ඩායමේ කළමණාකරු ජෙරම් ජයරත්නට පැවරීම හේතුවෙන් මේ පිලිබද අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කියා සිටියේ මිනිසුන් අතින් අඩුපාඩු සිදුවිය හැකි බවයි. ඒ පිලිබද සොයා බැලීම ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට පැවරූ බව වැඩිදුරටත් කියා සිටියා. කෙසේ වෙතත් මේ වන විට දසුන් ශානක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමගින් පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා. ඒ මතුවූ වීසා ගැටළුව විසදා ගෙන නොවේ. බටහිර ඉන්දීය කොදෙව් දූපත් සදහා ගමන් කළ හැකි වෙනත් ගුවන් ගමන් මාර්ගයක් තෝරා ගැනීම හේතුවෙනුයි. ශ්‍රී ලංකාවේ සිට ඇමරිකාවට ගොස් එතැන් සිට කොදෙව් බලා මීට පෙර කණ්ඩායම ගමන් කළා. එහෙත් ඇමරිකා වීසා ලබා ගැනීමේ ගැටළුව හේතුවෙන් මෙවර ඔහු යන්නේ සෙනගන් වීසා ලබාගෙනයි. මේ අනුව මීට පෙරත් ලංකාවේ සිට එංගලන්ත හෝ ප්‍රංශයට ගොස් එතැන් සිට කොදෙව් බලා යාමට ඔහුට හැකියාව තිබුණා. එහෙත් ඊට කටයුතු නොකිරීම නායකත්වය අහිමි කිරීමට සිදුවූ කකුල් මාට්ටුවක්ද විය හැකි බවට සැකයක් තිබෙනවා. මේ අතර එක්දින තරගාවලියේ පළමු තරගයට ඇතැම් විට දසුන්ට ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති.


කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වීසා ලබා ගැනීම සදහා කටයුතු කරන්නේ ජෝජ් ස්ටුවර්ට් ආයතනයයි. එහි අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන්නේ චන්න විජේමාන්නයි. කටින් බතල හිටවීමේ උපන් හපන්කම් ඇති පන්පෝරි චන්න මෙහිදී කටයුතු කර ඇති ආකාරය අනුව එම ආයතනය ක්‍රිකට් වීසා කටයුතු වලින් ඉවත් කිරීමට හොදටම ප්‍රමාණවත් වනවා. ඒ වීසා ලබා ගැනීමේ ගැටළුව මතුවූ සැනින් මේ වන විට දසුන්ට වීසා ලබාගෙන කොදෙව් බලා යා හැකි මෙම ගුවන් ගමන් මාර්ගය ක්‍රිකට් ආයතනයට නොපැවසීම හේතුවෙනුයි.


කණ්ඩායම එලෙස අර්බුදයකට ලක්ව සිටියදී එක් සේවිකාවකගේ පමණක් වැටුප් වැඩි කරන ලෙස ප්‍රධාන විධායක නිලධාරීන් ඈෂ්ලී ද සිල්වා නිර්දේශයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ තම හුරතලියක් වන වෙළඳ අංශයේ සේවිකාවකටයි. වෙළඳ අංශයේ විධායක ශ්‍රේණියේ මෙම ඉතාම කුළුපග හිතවතියට වැටුප් වර්ධකයක් ලබා දෙන ලෙස ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී නිර්දේශ කර ඇත්තේ ක්‍රිකට් විධායක කමිටුවටයි. එහෙත් ක්‍රිකට් විධායක කමිටු නිලධාරීන් එම ඉල්ලීම ඉවත දමා ඇත්තේ ඇයට පමණක් වැටුප් වැඩි කිරීම කෝප් කමිටුවේදී පවා ප්‍රශ්න කිරීමට ලක්විය හැකි බව පවසමිනුයි. මේ දිනවල කොරෝනා වසංගතය හේතුවෙන් ක්‍රිකට් ආයතනයේ ආදායම බිද වැටී තිබෙනවා. මේ හේතුවෙන් අනෙකුත් සේවකයන්ට පටි තද කරගෙන සිටින ලෙස පවසා වැටුප් වැඩි කළ නොහැකි බව දැනුම් දී තිබුණා. මෙවන් දේ සිදුවීම ඉඩ හැර ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කමිටු අච්චාරුවක් දාගෙන ශම්මිලාට නටන්න ඉඩදී බකන් නිලා සිටිනවා. ඉතින් මේවා ගැන කීමට ඉතිරිව ඇත්තේ වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද මේ අවනඩුව කියායි.


No comments:

Post a Comment