අම්පාර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ හොරු නිරුවත් වෙයි - Exclusive Exposed Video
යකඩ මල්ලට හෙන ගැහුවට පස්සේ පන් මල්ල ගැන කවර කතාදැයි පැරැන්නන් කීවේ කට කහනවට නොවේ. ඒ මෙවන් සිදුවීම් අරඹයා විය යුතුයි. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට හොදම හොරා තේරීමේ ජාතික තරගාවලියක් ආරම්භ කර ඇති ආකාරය දක්නට ලැබෙනවා. ඊට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල පවත්වන පුංචි තිරයේ සම්මාන උළෙලින් ආභාෂය ලබා ගන්නට ඇති. මේ අනුව මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී හොදම දූෂිත දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය ලෙස අම්පාර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය සම්මාන දිනා ගත්තා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිශ්‍රයේදී පසුගිය 27 වැනිදා පැවති එම දිස්ත්‍රික් සංගමයේ නිලවරණයේදීයි. අම්පාර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ පැටිකිරිය මෙතැන් සිට දිග හැරෙනවා.
අම්පාර දිස්ත්‍රිකයේ ක්‍රිකට් ක්‍රීඩාව ඇත්තේ නමට පමණයි. ඒ මට්ටමින් හෝ ක්‍රිකට් ඉතුරුවී ඇත්තේ එම දිස්ත්‍රික්කය තුල ක්‍රියාකාරී ක්‍රීඩා සංගම්වල මහන්සියේ ප්‍රතිඵලයක් ලෙසයි. මෙලෙස අම්පාරේ ක්‍රිකට්, වළට දැක්කීමේ පාරේ ඇදන් යන්නේ එම දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ වසර විස්සක් පුරා ලේකම් ලෙස කටයුතු කරන සිදත් ලියනාරච්චියි. ඔහු තම බූදලයක් ලෙස පාලනය කරන දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය, දූෂණ හා අක්‍රමිකතා රැසක් ගහණ, මූල්‍ය අක්‍රමිකතාවලින් පරිපූර්ණ තැනක් වී තිබෙනවා. මෙලෙස ඔහුට සිතූ පැතූ ලෙස පාලනය කිරීමට හැකිව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන හිටපු සභාපති තිලංග සුමතිපාල ප්‍රමුඛ පිරිසේ පූර්ණ ආශිර්වාදය හිමිවීමේ ආනිසංසයෙනුයි. මේ අනුව නිල වාර්තා වලට අනුව පමණක් ඔහු පිල්ලි ගසා ඇති මුදල රුපියල් ලක්ෂ 70 කට අධික වනවා. නොනිල වාර්තා සමග එය රුපියල් ලක්ෂ 100 ක් ඉක්මවන බව Lankasportsnews අප වෙත වාර්තා වනවා.
ඕනෑම ජාතික සංගමයක ප්‍රභලම තනතුර වන්නේ ලේකම් ධූරයයි. එය ඩැහැ ගැනීමට මාන බලන සියල්ලන් සභාපති පුටුවට ගෙන එන්නේ තමන්ට පාලනය කළ හැකි අයෙක්වයි. එමෙන්ම යමෙක් දූෂිත ක්‍රියා සිදුකර අත පිහදා ගැනීමට ඉතා පහසු වන්නේ සභාපති පුටුවට පැමිණි විටයි. ඊට හොදම උදාහරණ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සපයන බව පසුගිය කාලය ගැන සිහි කරන ඕනෑම අයෙක්ට පැහැදිලි ඇති. මේ අනුව අම්පාර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති තනතුරත් කලින් කලට තමන්ට ඕනෑ හැටියට නැටවිය හැකි රූකඩයක් පත් කර ගැනීමට සිදත් ලියනාරච්චි කටයුතු කර තිබෙනවා. මේ අනුව මෙවර ඔහුගේ දූෂණ සදහා සහය වීමට රූකඩය බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්පාර දිස්ත්‍රික් සංවිධායක නලීන් ජයවික්‍රමයි. ඔහු එය අකුරටම ඉටු කරනවා. ඒ මේ වන විට මතුව ඇති රුපියල් ලක්ෂ 70 කට අධික මූල්‍ය අක්‍රමිකතා නොදැක්කා ලෙස සිටිමින් ඒවා ආරක්ෂා කිරීමයි. මේ හේතුවෙන් පසුගියදා පැවති අම්පාර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ නිලවරණය උණුසුම් මුහුණුවරක් ගත්තා. එහිදී ගුටි බැට හුවමාරුක් නොවී නැවතුනේ 99 නුයි. එම දර්ශන ඇතුලත් වීඩියෝව පහත දැක්වෙනවා.
මේ අතර අම්පාර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම් සිදත් ලියනාරච්චි ඊට හිමිවන මුදල් සිය පෞද්ගලික ණය පියවීමටත් භාවිතා කර තිබෙනවා. රුපියල් ලක්ෂ 06 කට අධික මුදලක් එලෙස භාවිත කර ඇති ඔහු ක්‍රිකට් සංවර්ධනයට හිමිව ඇති මුදලින් ප්‍රදේශයේ අවුරුදු කුමරිය තේරීමට අත දිග හැර මුදල්ද ලබා දී ඇතැයි වාර්තා වනවා. එතනින් නොනැවතී මත්පැන් සදහා ගෙවීම් සිදුකර ඇත්තේද සංගමයේ ක්‍රිකට් සංවර්ධනය වෙනුවෙන් හිමිවූ මුදලින් බව ගිණුම් වාර්තාවේ දැක්වෙනවා. එලෙස සංගමයේ කටයුතු වෙනුවට පෞද්ගලික කටයුතු ඉටුකරන ලේකම් සිදත් ලියනාරච්චිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාසිකව රුපියල් ලක්ෂකට අධික වැටුපක්ද ගෙවනු ලබනවා. ඒ අම්පාර දිස්ත්‍රික් ක්‍රිකට් සම්බන්ධීකරණ නිලධාරියා ලෙස පත්වීමක් ලබා දීමෙනුයි. එහෙත් ක්‍රීඩා සංගම් ප්‍රධාන තනතුරු සදහා පත් වන්නේ ස්වේච්ඡා වැටුප් නොලබන ගරු සේවයක් සදහායි. එය ක්‍රිකට් ආයතනයේදී සිදු නොවීමට හේතු වී ඇත්තේ ක්‍රිකට් නිලවරණ ඡන්ද ඔවුන් සතුවීමයි. මේ අනුව එම ඡන්ද වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙලෙස සම්බන්ධීකරණ නිලධාරීන් ලෙස කිහිප දෙනෙක්ටම මාසිකව රුපියල් ලක්ෂකට අධික වැටුපක් ලබා දී නඩත්තු කරනවා.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පසුගියදා කියා සිටියේ තමන්ට අවශ්‍ය ක්‍රීඩක සංවර්ධනය බවයි. මේ පිල්ලි ගසා ඇත්තේ අම්පාරේ ක්‍රිකට් ක්‍රීඩකයින් හා එම ප්‍රදේශයේ ක්‍රිකට් සංවර්ධනයට ඇති මුදලයි. මේ අනුව එම ප්‍රදේශයට කෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මුදල් පොම්ප කළත් කිසිවක් සිදුව නැහැ. ඊට හේතුව එම මුදල් ලේකම් සිදත් ලියනාරච්චි සාක්කුවට දා ගැනීමයි. සංවර්ධනය වී ඇත්තේ අම්පාරේ ක්‍රිකට් නොව සිදත් ලියනාරච්චි පවුලයි. ක්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා වැඩිදුරටත් කියා සිටියේ ක්‍රීඩා අමාත්‍යාංශයේ වෙනම පොලිස් ඒකකයක් මගින් දූෂණ හා මූල්‍ය අක්‍රමිකතා ගැන සොයා බැලීමට පියවර ගෙන ඇති බවයි. ඊට පැමිණිලි කරන ලෙස ඔහු ඉල්ලා සිටියා. අම්පාර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ මූල්‍ය අක්‍රමිකතා හා දූෂණ මෙලෙස Lankasportsnews අප රට හමුවේ පළමු පැමිණිල්ල ගොනු කරනවා. මේ පිලිබද මෙතැන් සිට සොයා බැලීම ක්‍රීඩා අමාත්‍යාංශය සතු වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වත්මන් විධායක කමිටු පාලනය නීති විරෝධී බව නීතිපතිවරයා පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශයට ලිඛිත දැනුම් දුන්නා. එහෙත් ඊට මෙතෙක් ක්‍රියාත්මක වීම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කල් මරමින් සිටිනවා. ක්‍රිකට් ආයතන දූෂිත පාලනයට එරෙහි වීමට පැකිලෙන අමාත්‍යවරයා දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයක හෝ දූෂණයට එරෙහි වනු ඇතැයි Lankasportsnews අප සමග රටම බලා සිටින බව සිහිපත් කළ යුතුයි. එය ඉබ්බාගෙන් පිහාටු ඉල්ලීමක් බවට පෙත් නොකිරීම සැමගේ යුතුකමක් වනවා.
No comments