• Breaking News

    ක්‍රීඩා අමාත්‍යාංශය ලේකම් ඇමැති නාමල්ව සවුත්තු කරයි - Exclusive Exposed


    ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රිකට් කණ්ඩායමකට පහසුවෙන් සමාන කළ හැකියි. කණ්ඩායමේ නායකයාට තනිවම තරගයක් ජයග්‍රහණය කළ නොහැක. කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් මෙන්ම වතුර ගෙනෙන අතිරේක ක්‍රීඩකයින්ද එකා මෙන් පෙල ගැසුනේ නැත්නම් ජයග්‍රහණ යනු සිහිනයක් පමණි. මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශය නම් කණ්ඩායමේ නායකත්වයට මෙතෙක් ඉතිහාසයේ පත්වූ ප්‍රභලම අමාත්‍යවරයා පත්ව සිටී. වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ බාප්පා රටේ ජනාධිපති වන අතර අග්‍රාමාත්‍ය වන්නේ තාත්තායි. ඉතින් ක්‍රීඩාව ඉහළමට ඔසවා තැබීමට ලැබුණු ස්වර්ණමය අවස්තාව මෙය බව LankaSportsNews අප පමණක් නොව 96 ක්‍රිකට් ලෝකශූර කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග පවා පසුගියදා කිව්වා ඔබට මතක ඇති. එහෙත් අමාත්‍යවරයාගේ වේගයෙන් දිවීමට නොහැකි, ඉබි ගමනින් යන ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කෙනෙක් ක්‍රීඩාවේ අවාසනාවටදෝ පත්ව සිටියි. සියල්ල දත් භූමිකාව රඟ දක්වන අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්ගේ පැටිකිරිය මෙතැන් සිට දිග හැරෙනවා.


    ක්‍රීඩකයෙක් ලෙසත් ජාත්‍යන්තර තරගවල පවා නායකත්ව අත්දැකීම් ඇති ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යාංශය භාර ගන්නා විට බොහෝ දෙනෙක් සැනසුම් හෙලුවා. ඒ ක්‍රීඩකයින්ට සුභ අනාගතයක් මෙන්ම ක්‍රීඩා පරිපාලනයත් පිරිසිදු වනු ඇතැයි කියායි. එහෙත් අද වන විට එම බලාපොරොත්තු එකින් එක වියැකී යමින් ඇත්තේ සියල්ලන් විමතියට පත් කරමින්. ඊට ඔහු වටා සිටින ඇතැමුන්ගේ වැඩ බැරියාව හේතු වී ඇතැයි LankaSportsNews අප සිදුකළ ගවේශනයේදී පෙනී ගියා. එහි ඉදිරියෙන්ම සිටින්නේ සියල්ල දත් ලෙස කටින් බතල හිටවමින් යන ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අනුරාධ විජේකෝන්. ඔහුගේ රාජ්‍ය සේවයේ වසර 21 ක කාලය තුල ස්ථාන 18 කට මාරුවීම් ලබා තිබෙනවා. අවසන් වරට ඔහු සේවය කළ වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මිතුරු කල්ලිය මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශයට පත්වීම් ලබා පැමිණෙමින් සිටිනවා. ජිල් බෝල ක්‍රීඩාව වත් නොදන්නා ඔවුන් පත්වෙමින් ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශයේ මෙතෙක් දිනක් ක්‍රීඩාව සමග සමීපව කටයුතු කළ බොහෝ දෙනෙක්ට හදිසි ස්ථාන මාරුවීම් ලබා දෙමින් වීම මෙම අර්බුදයේ මූල බීජය වී තිබෙනවා.


    මේ අතර මෙතෙක් කලක් ක්‍රීඩා අමාත්‍යාංශය තම තනි බූදලයක් ලෙස පත්වූ සියලු ඇමතිවරු අල්ලේ නැටවූ සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ ආර්. බී වික්‍රමසිංහ වැනි අයව පන්නා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යාංශයට වසන්තය කැන්දීමට උත්සාහ කරනවා. කුමන ඇමති ආවත් තමන්ට අත තියන් නැති බවට කට මැත දොඩවමින් ක්‍රීඩා සංගම් සියල්ල භාරව කටයුතු කළ වික්‍රමසිංහ මේ වන විට ජාතික බර ඉසිලීමේ සංගමයේ ජාතික පුහුණුකරු ලෙස පමණක් පැත්තකට කර ඇත්තේ ජාතික ක්‍රීඩා විද්‍යායතනයට මාරු කරයි. මේ අනුව මෙතෙක් දිනක් වැඩ දන්න එහෙත් වැඩක් නොගත් බොහෝ දෙනෙක් සිය වැඩ පෙන්නා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ වේගවත් ගමනට දායක වීමට මැවූ සිහින බොද වෙමින් තිබෙනවා. ඒ අප පෙර කී ලෙසම ලේකම් අනුරාධ විජේකෝන් සිය මිතුරන්ගෙන් ක්‍රීඩා අමාත්‍යාංශය පිරවීම හේතුත්. එකක් කඩතොලු වසා ගන්න ගොස් දෙකක් කඩතොලු හදා ගත්ත ඉදුරුවේ ආචාරියාගේ උපහැරණය සිහිවන ලේකම්ගේ සිදුවීම් මෙසේයි.


    හෙලිදරව්වක් ඵල දරයි - ආර්.බී වික්‍රමසිංහ ඉවතට


    ලංකාවේ මෙතෙක් පත්වූ හොදම ජාතික ක්‍රීඩා සභාව පත් කරනු ලැබුවේ වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂයි. එහෙත් එම කමිටුවෙන් ක්‍රීඩාවේ ප්‍රගමනය සදහා කිසිදු සේවයක් ලබා ගැනීමට අමාත්‍යාංශය අසමත්ව තිබෙනවා. ඒ උද්දච්ච ලේකම් සියල්ල තම අභිමතය පරිදි කරන්න යාම හේතුවෙනුයි. එහි හොදම උදාහරණය වන්නේ 2019 ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල මෙතෙක් පැවැත්වීමට අසමත් වීමයි. 2020 වසරම කොරෝනා හේතුවෙන් ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා තරග පැවැත්වීමට නොහැකි වූ අතර මේ වන විට යලිත් ක්‍රීඩා පිටියට පණ ලැබෙමින් තිබෙනවා. කිසිවක් සිදු නොවූ 2020 වසරම සම්මාන උළෙල පැවැත්වීමට අපොහොසත් වූ ක්‍රීඩා අමාත්‍යාංශය 2021 වසරේ පළමු මාස තුනම කා දමා දැන් හතරවන මාසයටත් පිය නගා අවසන්. මෙම සම්මාන උළෙල සදහා වැඩ කළ ප්‍රධාන නිලධාරියා ඉල්ලා අස්වී ඇති අතර සම්බන්ධීකරණ කළ නිලධාරිනියත් විදෙස් ගත වීමට සූදානම් වන බව LankaSportNews අප වෙත වාර්තා වනවා. 2019 වසරේ ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල පවත්වා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට සිය බාප්පා වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් එහි සම්මාන ලාභීන් ඇගයීමට ලක් කර නව පුණුරුදයක් ආරම්භ කළ හැකියි. එහෙත් ඊට හෙන හුරා වී ඇත්තේ අහංකාරකමින් පිම්බී සිටින අමාත්‍යාංශ ලේකම් අනුරාධ විජේකෝන් ඒ සදහා කිසිවක් නොකිරීමයි. එහෙත් එය ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ගිණුමට බැරවී ඇත්තේ ඔහුගේ අසාර්ථක බවේ සංකේතයක් ලෙසයි.


    බොහෝ ක්ෂේත්‍ර නිලධාරින්ද කරන්නේ ඒ ඒ සංගම් වල අය අල්ලාගෙන විදෙස් සංචාර වල නිරත වීමයි. කොවිඩ් නිසා ඔවුන් ඉන්නේ බලවත් ශෝකයෙන්. ඒත් කමල් ගම්ලත් වැන්නන් බැඩිමින්ටන් සභාපති වරයා සමග දේශීය හෙලිකොප්ටර් සවාරි වල නිරත වන්නේ අමාත්‍යංශයටත් හොරෙනුයි. පුහුණුකරුවන් ලෙස කටයුතු කළ නොහැකි උනත් සජිත් ජයලාල් වැන්නන් තමන්ගේ රාජකාරි අතර තුර තවමත් ඒ කටයුත්තේ නිරත වෙනවා. ලේකම්වරයා මේ ළගකදීත් ඇමතිවරයාගෙන් ලුණු ඇඹුල් නැතිව අහ ගත් බවත් LankaSportsNews අපට වාර්තා වෙනවා.


    මේ අතර පසුගියදා කෝප් කමිටුව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන්ට නිර්දේශ කළේ හිටපු ක්‍රිකට් ආයතන ලොක්කන්ට මුදල් කාබාසිනියා කිරීම ගැන නඩු පවරන ලෙසයි. එහිදීත් ලේකම් කැපී පෙනීමට දැඩි උත්සාහයක නිරත වූ බව පෙනී ගියා. ක්‍රීඩා පනත හා රෙගුලාසි සකසා සියල්ල යාවත්කාලීන කිරීමට කටයුතු කරමින් සිටින බවයි ඔහු එහිදී කියා සිටියේ. එහෙත් ක්‍රීඩා අමාත්‍යාංශය භාර ගනිමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ ක්‍රීඩා පනත සම්පූර්ණ යාවත්කාලීන කිරීමකට ලක් කරන බව පැවසුවත් මෙතෙක් ඒ වෙනුවෙන් කටයුතු සිදු වන්නේ ඉබි ගමනිනුයි. මෙලෙස ගියහොත් කෝප් කමිටුවට මාස කිහිපයකින් අවසන් කරන බව කී නීති රීති සැකසීමට හා අනුමත කර ගැනීමට තවත් වසර කිහිපයක් යනු නොඅනුමානයි. එවිට යලිත් අසාර්ථක බව රටට පෙනී යන්නේ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්ගේ නොව අමාත්‍ය නාමල් රාජපක්ෂගේ බව අමුතුවෙන් කිව යුතු නැහැ. සුපුරුදු පරිදි LankaSportsNews අප ගවේශනයේ කරුණු මෙලෙස අප රට හමුවේ ගොනු කළේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අසමත් වීමට පෙර බව සිහිපත් කළ යුතුයි. ඒ අමාත්‍යවරයාගේ අසමත්වීම යනු ඔහුගේ දේශපාලන දිවියේ පරාජය පමණක් නොව රටේ සමස්ථ ක්‍රීඩාවේම පරිහානියක් වීම හේතුවෙනුයි. ජනාධිපති අසමත් කියා විපක්ෂය කෑමොර දෙන්නාක් මෙන් ඊලගට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අසමත් කිය කියා යාමට ඔවුන්ට මේ පාර කැපීමක්දැයි අපට සැකයක් නැතුවාම නොවේ.









    No comments