ක්‍රිකට් පාවාදීමේ මෝරුන්ව හලා ICC ය තවත් හාල්මැස්සෙක් අල්ලයි - Exclusive Exposed
හද පෙන්නුවහම ඇගිල්ල දෙස බැලීම කලාවක් නම් එහි පිකාසෝලා ඉන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුල බව Lankasportsnews අප කියන කතාව ඊයේ යලි සනාථ වුණා. ඒ ආයතනය තුල අප ප්‍රධාන කර්තෘ ලෙස උපකල්පනය කළ අයෙක්ට බැණ වැදෙමින් එහා මෙහා ගිය පිරිස මෙතෙකැයි කිව නොහැකි තරම් වීම හේතුවෙනුයි. විදෙස් ගත ක්‍රීඩා මාධ්‍යවේදියෙක්ට බනිමින් ගිය මේ පිරිසෙන් අප පලකළ කතාවේ වැරැද්දක් ඇත්දැයි විමසූ විට සිදුවූයේ ඇගට ගොඩ වීම පමණයි. කතාව ඇත්ත වුණාට මෙහෙම දැම්මහම පාරෙ බැහැල යන්නේ කොහොමද ? ඇත්තටම හොරුන්ට හා පින් පඩි කාරයන්ට හිටි හැටියේ ලැජ්ජාව මතක් කිරීමට Lankasportsnews අපගේ ඊයේ ලිපිය සමත් වී තිබුණා. මේ අතර ක්‍රිකට් ආයතන තරග සහය කළමණාකරු චින්තක ජයනාත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්ධන ඒකකයෙන් ගැලවෙන හැටි අසමින් දස අත ගියේ ඔලුවත් කසමිනුයි. චින්තකගේ ඔලුව ගිණි ගත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්ධන ඒකකයේ ප්‍රශ්න කිරීම් හා ජංගම දුරකතනය අත්අඩංගුවට ගැනීම වටා කතාව මෙතැන් සිට පළ වන්නේ ඒ පිලිබඳ ලංකාවේ පළමු අනාවරණය ලෙසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුල සිටින නූල් සූස්තර පුංචන්ගෙන් පළමු තැන දිනා සිටින්නේ, තරගාවලි සහය කළමණාකරු චින්තක ජයනාත් බව ප්‍රසිද්ධ රහසක්. ඒ ආයතනයේ ස්ථිර සේවකයෙක් වීමේ වාසියත් ලබා ගනිමිනුයි. ඔහු ලබැදියාවේ ගැටුම නම් ආචාරධර්මය වෛශ්‍යා වෘතියේ යොදවා ඇත්තේ ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා, සභාපති ලෙස කටයුතු කරන CCC ක්‍රීඩා සමාජයේත් ක්‍රිකට් කළමණාකරු ලෙස කටයුතු කරනමින්. මේ හේතුවෙන් CCC ක්‍රීඩා සමාජයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන තරගාවලි වලදී අමතර වාසියක් ලබාදී ඇත්තේ, ක්‍රීඩා පිටි තේරීමේදී හා තරග එහා මෙහා කිරීමෙනුයි. මේ අතර ක්‍රිකට් පිටියේ දූෂණ හීන් නූල් ක්‍රියාවන් රැසක් සභාපති ශම්මිගේ හයියෙන් චින්තක සිදු කරනවා. වරක් ඕස්ට්‍රේලියානු පුවත් පතක් අනාවරණය කළේ එරටට වීසා ලබා ගැනීම සදහා ක්‍රීඩා නොකරන අයව ක්‍රීඩකයින් ලෙස වර්තා කරමින් වීසා ලබා ගැනීමේ වංචාවක මහ මොළකරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සේවකයෙක් බවයි. ඔහු චින්තක ජයනාත් බව Lankasportsnews අප ගවේශනාත්මක වාර්තාවක් පළ කළා. එමෙන්ම එංගලන්ත වීසා ලබා ගැනීම සදහාත් ඔහු මෙවන් මැදිහත්වීමක් කරන, මහා පරිමාණ අත යට ගණුදෙනු සිදුවන වීසා මගඩියක් සිදු කරන්නෙක් බවත් එහිදී අනාවරණය කෙරුණා. එය Lankasportsnews අප අනාවරණය කළා ඔබට මතක ඇති. එය බලපු නැති අයට එම වීසා මගඩියේ අලගිය මුල ගිය තැන් එක්ක Lankasportsnews අප සිදුකළ ගවේශනාත්මක අනාවරණය පහතින් පළ වනවා. මේ පිලිබද අනාවරණය කර මේ වන විට මාස 05 ක් ගතව ඇතත් කිසිදු පරීක්ෂණයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදු නොකිරීම හොරු ආරක්ෂා කිරීමේ ප්‍රතිඵත්තිය නිසා සිදු වූ බව යලිත් අප මතක් කළ යුතුයි.
ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩක වීසා මගඩියේ ලංකාවේ ඒජන්තයා මෙන්න - Exclusive Exposed
එවන් ජාත්‍යන්තර නීල කාස හොරෙක් වන චින්තක ජයනාත් ක්‍රිකට් පිටියෙන් ඔබ්බට ගොස් මෙම වීසා වංචාව සිදු කිරීම හේතුවෙන් අදටත් විභාග වන නඩුවකට පැටලී සිටිනවා. ඒ කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා එම වීසා ලබා ගැනීම වෙනුවෙන් ලක්ෂ ගණනක වංචාවක් සිදු කිරීමේ පැමිණිල්ලකට අදාලවයි. එහිදී ඊට චින්තකව පොලිස් අත්අඩංගුවට පත් වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුලදීමයි. ඊටත් කිසිදු වග විභාගයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදටත් ගෙන නැති බව කිව යුත්තේ හොරු වෙනුවෙන් අපි යන තේමාව යටතේ ක්‍රියාත්මක ආයතනයක් වීම හේතුවෙන් විය හැකියි. මේ අතර ඔහු ඇතැම් ක්‍රීඩකයින්ගේ කළමණාකරු ලෙසත් කටයුතු කරමින් සියයට 15 ලබා ගන්නවා. එයත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ව්‍යවස්ථාවට අනුව සම්පූර්ණ පටහැනි ක්‍රියාවක් වන්නේ ආයතනයේ සේවකයින්ට එලෙස කටයුතු කිරීමට නොහැකි බව සදහන් වීම හේතුවෙනුයි. එහිදීත් නීතිය නවා ලොක්කන්ගේ අධෝමුඛයේ ගසා ඇති චින්තක කලක් ක්‍රිකට් භාණ්ඩ අලෙවි සැලක්ද නීති විරෝධී ලෙස පවත්වාගෙන ගියා. මෙම සිදු කරපටි හොරා පිලිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්ධන ඒකකයේ ඇස ගැටී ඇත්තේ මුදලට තරග පාවාදීමේ සිදුවීමක් පිලිබදවයි. එවන් උත්සාහයක් පිලිබඳවත් Lankasportsnews අප අනාවරණය කළේ පසුගිය වසරේ ජූලි 08 වැනිදායි. එම පාවාදීම් කතාව බලපු නැති අය වෙනුවෙන් පහත දැක්වෙන්නේ එයයි.
SLC ඇතුලේ ඉන්න බුකී ඒජන්තලා මෙන්න
මේ අතර චින්තක ජයනාත්ගේ කටඋත්තරයක් ලබාගෙන ජංගම දුරකතනය අත් අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්ධන ඒකකයේ ශ්‍රී ලංකා තානාපති ලෙස මෙරට සියලු පාවාදීම් පිලිබඳ සොයා බලන ස්ටීව් රිචඩ්සන් පසුගිය 28 වනදා කටයුතු කර තිබෙනවා. එය සිදුවීයේ මුදලට තරග පාවාදීමේ සිදුවීමකට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් වේග පන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසාව වසර 06 කට තහනම් කිරීමෙන් දින කිහිපයකට පසුව වීම කැපී පෙනෙනවා. එමෙන්ම ස්ටීව් රිචඩ්සන් ශ්‍රී ලංකාව තුල පසුගිය මාස කිහිපයේම රැදී සිටිමින් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ගෙන් හා නිලධාරීන් කිහිප දෙනෙක්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව Lankasportsnews අප වෙත වාර්තා වනවා. එහිදී ක්‍රීඩකයින් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන හිටපු නිලධාරීන්ගේ ජංගම දුරකතන ලබා ගෙන පරීක්ෂණ මෙහෙයවා ඇතැයිද සදහන්. මෙවර චින්තක ජයනාත්ගෙන් ප්‍රශ්න කර ඇත්තේ ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL 2020 ක්‍රිකට් තරගාවලිය පිලිබඳවයි. එහිදී චින්තක කණ්ඩායම් හිමිකරුවන්ට ලබා දී ඇති දුරකථන ඇමතුම් පිලිබද ප්‍රශ්න කර තිබෙනවා. මේ අතර මෙම තරගාවලියේ සංවිධාන කළ ලොක්කෙක් ගැනත්, කණ්ඩායම් වල නිලධාරීන් ලෙස කටයුතු කළ කිහිප දෙනෙක් පිලිබඳ මෙන්ම ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ගැනත් අවධානය යොමුව ඇති අතර ඒ පිලිබඳ පුළුල් පරීක්ෂණ ඉදිරියේදී ආරම්භ වනු ඇතැයි Lankasportsnews අප වෙත වාර්තා වනවා.
මෙහිදී විමර්ශනය කරන්නේ කණ්ඩායම් හිමිකරුවන් හා ක්‍රීඩකයින් අතර අතරමැදියා ලෙස චින්තක කටයුතු කර ඇතැයි යන්න බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්ධන ඒකකයේ මෙරට ප්‍රකාශකයෙක් Lankasportsnews අප සිදුකළ විමසීමකදී කියා සිටියා. මෙහිදී සිදුව ඇති සංවාද පිලිබඳ පුළුල් පරීක්ෂණ සිදුවන බවයි එම නිලධාරියා වැඩි දුරටත් කියා සිටියේ. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් දෙදෙනෙක් සේවය කළත් ඔවුන් මෙතෙක් සිදුකර ඇති කිසිදු පරීක්ෂණයක් පිලිබඳ සංවේදී නොවීම් පිලිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්ධන ඒකකය මවිත වී සිටිනවා. මෙතෙක් සිදුකළ කිසිදු පරීක්ෂණයක හා ලබාදුන් දඩුවම් සහිත සිදුවීම් විමර්ශනය කර තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නිලධාරීන් විසිනුයි. ඒ පිලිබඳ වැඩිදුරටත් Lankasportsnews අප කළ ප්‍රශ්න කිරීමේදී එම නිලධාරියා කියා සිටියේ දූෂණ මර්ධනය වෙනුවෙන් විශාල වැටුපක් ලබා දෙමින් පවත්වාගෙන යන කාර්යයාලය ගැන ඔවුන් මවිත වන බවයි. ඒ පිලිබඳ වැඩිදුරටත් ප්‍රකාශ කිරීම එම නිලධාරියා ප්‍රතික්ෂේප කළේ එය චින්තක ජයනාත් පිලිබඳ සිදුකරන පරීක්ෂණ හා සම්බන්ධ බව පවසමිනුයි.
මේ අනුව චින්තක ජයනාත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ මර්ධන ඒකකයේ ප්‍රශ්න කිරීම විශාල සිදුවීම් ධාමයක ආරම්භය බව Lankasportsnews අප වෙත සනාථ වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා පිලිබඳවත් මෙහිදී අවධානය යොමුව සමීප නිරීක්ෂණයක් සිදුවන බව වාර්තා වනවා. කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මෙතෙක් සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නම් හොර ගුහාවේ හාල්මැස්සන්ට දඩුවම් පැමිණවීම පමණයි. එහි තෝරු මෝරු තවමත් නිදැල්ලේ සිය රාජකාරිය, සැමගේ ඇසට වැලි ගසමින් සිදු කරමින් සිටිනවා. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් හැමදාම පිටුපසට යන්නේ දම්වැල් දමාවත් නතර කරගත නොහැකි ලෙසයි. මේ සියල්ල දෙස අඳ ගොලු බිහිරි ප්‍රතිඵත්තියක සිටි කටයුතු කිරීම හේතුවෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ හොරුන්ට ආශිර්වාදයක් වී තිබෙනවා. ලංකාවේ සෑම ප්‍රදේශයකම පොලිස් ස්ථානයක් ඇතැත් හොරු හා නීති විරෝධී ක්‍රියාවල අඩුවක් නැහැ. ක්‍රීඩා අමාත්‍යාංශයේ දූෂණ හා අක්‍රමිකතා සෙවීමට වෙනම නව පොලිස් ඒකකයක් මෙන්ම මුදලට තරග පාවාදීම් වැලැක්වීමට ක්‍රීඩාවල වැරදි වැලැක්වීමේ විශේෂ පොලිස් ඒකකයක් ඇතත් ක්‍රීඩා දූෂණ හා අක්‍රමිකතාවල කිසිදු අඩුවක් සිදුව නැහැ. ඉතින් සියල්ල ඒස් වා පොග් කියා සියල්ල සිදුවන තුරු බලා සිටින ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය ප්‍රතිඵත්තිය වෙනස් කර නොගන්නා තුරු රටේ ක්‍රීඩාවේ ප්‍රගමනයක් බලාපොරොත්තු විය නොහැකියි. ඉතින් මෙලෙස මේ අපතේ යමින් ඇත්තේ හිටපු නායක අර්ජුන රණතුංග ඇතුලු බොහෝ දෙනෙක් කී ක්‍රීඩාව බේරා ගැනීමේ අවසන් අවස්තාව බව සිතන විට සිහිවන්නේ ඒකා සාක්කුවේ නාට්‍යයේ පෝස්ටරයයි.
No comments