ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සටන වඩා සාධාරණ වෙන්න මුලින් මැච් දිනල පෙන්නමු.!
බල්ලගෙ වැඩේ බූරුවා කරන්න ගියා වගේ කියලා කතාවක් තියෙනවා. අපේ ක්‍රිකට් ක්‍රීඩකයොත් ICC ශ්‍රේණිගත කිරීම්වල බින්දුවටම වැට්ලා බංග්ලාදේශයටත් පැරදිලා ඉන්න වෙලාවක වැඩි වැටුප් ඉල්ලා පහුගියදා සටනක් කළා. මෙහෙම ක්‍රීඩකයන්ගෙ වැටුප් හෙවත් වාර්ෂික කොන්ත්‍රාත්තු ගැන ප්‍රශ්න පැන නැගුනේ ප්‍රථම වතාවට නෙවෙයි. මීට ඉස්සරත් කීප වතාවක් කොන්ත්‍රාත් ගැන ක්‍රීඩකයො පාලකයො එක්ක ප්‍රශ්න ඇති කර ගත්තා. ඒ හැම වතාවෙම මුල් වුණේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයොයි.
2014 විස්සයි විස්ස ලෝක සූරතාවට අපේ කණ්ඩායම ගියෙත් ඔය වගෙ ප්‍රශ්නයක් ඇති කරගෙනයි. ඒ වෙලාවෙ පාලකයො වෙනුවෙන් නිශාන්ත රණතුංග තදින් හිටියා. ක්‍රීඩකයන්ගෙ පැත්තෙන් සටනෙ ඉදිරියෙන් හිටියෙ සංගයි , මහේලයි. ඊට ඉස්සර ඔහොම ගැටළු පැන නැගුණු අවස්ථාවල ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙ සංගමයත් ක්‍රීඩකයොත් එක්ක හිටියත් නිශාන්ත රණතුංග ඔවුන්ව ගණන් ගත්තෙත් නෑ. කොහොම උනත් 2014 ලෝක විස්සයි විස්ස සූරතාවට අපේ ක්‍රීඩකයො අන්තිමේ ගියේ ක්‍රීඩක කොන්ත්‍රාත් අත්සන් නොකරයි. අන්තිමේ එහෙම පාලකයොත් එක්ක අමනාපෙන් ගිය ක්‍රීඩකයො මූණත් එක්ක තරහට නහය කපා ගන්න ගියේ නැහැ.
ආපහු ආවෙ ලෝක කුසලානෙත් අරගෙනයි.
ඊට පස්සෙ ඇන්ජෙලෝ මැතිව්ස් නායකත්වය දරද්දිත් මේ වගෙම ප්‍රශ්නයක් ඇති වුණා. ඒ වෙලාවෙ තිලකරත්න ඩිල්ෂාන් ක්‍රීඩකයන්ගෙ සටන පාවල දෙමින් පාලකයන් සමග ඩීල් එකක් දමමින් තව ක්‍රීඩකයන් කිහිප දෙනෙක් එක්ක ගිහින් කොන්ත්‍රාත් අත්සන් කළා. ඩීල් එක වුණේ යළි නායකත්වය ගන්නයි. එහෙම ඩිල්ෂාන් අද ඕස්ට්‍රේලියාවට වෙලා ක්‍රීඩකයන්ගෙ ප්‍රශ්න ගැන කතා කිරීම විහිළුවක්. මේ වගේ ක්‍රීඩකයො එක්ක එක වතාවක් පාලකයො කොන්ත්‍රාත් සම්බන්ධව සාකච්ඡා කරල එද්දි ක්‍රිකට් ආයතනය එළියෙ හිටපු මාධ්‍යවේදීන්ට " වැඩක් බලා ගෙන යනවා " යයි ලසිත් මාලිංග කියූ අයුරු ඔබට මතක ඇති.
අද අපේ කණ්ඩායමේ එදා වගේ තරග දිනා දෙන්න සමත් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයො නැහැ.
එහෙම තියෙද්දි අන්තිම කාලයේ යලට මහට දක්ෂතා දක්වපු ඇන්ජෙලෝ මැතිව්ස්, සුරංග ලක්මාල්, චන්දිමාල් එක්ව කනිෂ්ඨ ක්‍රීඩකයන් බිය ගන්වා තිරය පිටුපස සිට මේ පාර මෙහෙයුම කරන්න ගත්තා. ඒ සඳහා උපයෝගි කර ගත්තෙ උසාවියෙත් නමක් නැතිව හිටපු නිෂාන් ප්‍රේමතිරත්න නම් නීතිඥයෙක්වයි.
මොහු ඇන්ජෙලෝ මැතිව්ස්ගේ පාසල් සගයෙක් වගෙම හොඳ යාලුවෙක්.
ඔහු තමයි ක්‍රිකට් බලධාරින් සමග ක්‍රීඩකයන් වෙනුවෙන් සාකච්ඡා කරන්න යොදා ගත්තෙ.
බල්ලගෙ වැඩේ බූරුවා කරන්න යෑමෙන් උනේ වැඩේ තවත් ඇනීමයි. මේ නීතිඥයා රටේ ක්‍රීඩා නීතියවත් හරියට දැන හිටියෙ නැහැ. ඒ නිසා තමයි එංගලන්ත සංචාරෙට ක්‍රීඩක කොන්ත්‍රාත්තුවත් තරග සංචාර ගිවිසුමත් අත්සන් නොකර ක්‍රීඩකයන් යන්න සූදානම් බව කීවේ. රට නියෝජනය කරමින් විදේශයකට යන ඕනෑම ක්‍රීඩකයකු ගිවිසුමක් අත්සන් කළ යුතු බවවත් මොහු දැන හිඳ නැහැ. අත්සන් නොකළොත් හෝටලයෙන් ඉවත්ව යන ලෙසට අවසානයේ ක්‍රිකට් බලධාරීන් කළ තරවටුවෙන් පසුබා සිටි ක්‍රීඩකයන් කොන්ත්‍රාත් ගිවිසුම අත්සන් කිරීම සංචාරයෙන් පසුවට කල් දමා සංචාර ගිවිසුම අත්සන් කළා.
මේ කොන්ත්‍රාත් ගෙවීම් ක්‍රමය හදල තියෙන්නෙ අරවින්ද ද සිල්වා,මුත්තයියා මුරලිදරන්, රොෂාන් මහනාම, කුමාර් සංගක්කාර යන උපදේශන කමිටුව විසින්. ක්‍රිකට් බලධාරින් ගැන Lankasportsnews දිගින් දිගටම කරුණු හෙළි කළා. ඔවුන් ගසා කන්නේත් නාස්ති කරන්නේත් ක්‍රීඩකයො නිසා ලැබෙන මුදල්. ඒ නිසා ක්‍රීඩකයන්ගෙ සටනෙත් වරදක් නැහැ. ඒත් මුලින් තරග ටිකක් දිනා ක්‍රිකට් වල අපේ මට්ටම ඉහළ දැමිය හැක්කේ ඔවුන්ට නිසා මුලින් තම වට්නාකමේ හැටියට සටන් කරන්නේ නම් ඒ සටන වඩා සාධාරණ වෙන්න තිබුණා.
No comments